චීනයේ ආර්ථික වර්ධන වේගය පහළට


ලොව දෙවැනි විශාලම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධන වේගය අඩ සියවසකට පසු පළමු වරට මේ වසරේ මුල් මාස තුනේදී දී පහළ වැටී ඇත.

ලෝක ආර්ථිකයේ දෙවැනි බලවතා වන චීනය, භාණ්ඩ සහ සේවා පරිභෝජනයේ මෙන්ම නිෂ්පාදනයේ ආර්ථික බලවතා ලෙස ද සැලකේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කොරෝනා වසංගතය හේතුවෙන් එරට කර්මාන්තශාලා සහ ව්‍යාපාර සියල්ල වසා දැමීමට සිදුවිය.

අද (17) නිකුත් කළ නිල දත්තවලට අනුව මේ වසරේ පළමු කාර්තුවේදී චීන ආර්ථිකය සියයට 6.8කින් කඩා වැටී ඇත. චීන ආර්ථිකයේ කඩා වැටීම එරටට පමණක් ලොව තවත් රටවල් රැසකට විශාල බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

චීනය කාර්තුවකට වතාවක් ආර්ථික දත්ත වාර්තා කිරීම ආරම්භ කළේ 1992 වසරේදීය. එයින් පසු වසරක මුල් මාස තුනේදී චීන ආර්ථිකය කඩා වැටුණු පළමු අවස්ථාව මෙය විය.

‘‘රැකියා අහිමි වීම, බංකොලොත් බව සහ ස්ථීර ආදායම් මාර්ග අහිමි වීම යනාදී හේතු නිසා මේ වසරේ මුල් මාස තුනේදී රටේ දළ දේශීය නිෂ්පාදිතය පහළ වැටුණා’’ යැයි චීන ආර්ථික බුද්ධි ඒකකයේ යූ සූ පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ යුද්ධයක් පවතින අවස්ථාවේදී වුවද චීන ආර්ථිකය පසුගිය වසරේ මුල් කාර්තුවේදී සියයට 6.4ක ආර්ථික වර්ධනයක් වාර්තා කළේය.

අවසන් දශක දෙකේදී චීන ආර්ථික වසරක සාමාන්‍යයක් ලෙස ගත්විට සියයට 9කින් වර්ධනය වී ඇත.

දැඩි සහ විශාල ප්‍රදේශවලට පනවන ලද ලොක්ඩවුන් සීමා, නිරෝධායන නීති හා ක්‍රියාමාර්ග යනාදිය මේ වසරේ මුල් මාස තුනේදී චීන ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කළේය.

ගෝලීය මූල්‍ය අර්බුදය අවස්ථාවේදී, සාර්ස් වසංගතය අවස්ථාවේදී මෙන්ම තවත් ව්‍යවසන රැසක් මධ්‍යයේ චීන ආර්ථික අඛණ්ඩව වර්ධනය විය.

චීන ආර්ථිකයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 14ක් යැයි ද ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කර තිබිණි. චීන ආර්ථිකය මේ ආකාරයෙන් පහළ වැටුණේ 1976න් පසුව යැයි ද එම පුවත්පත වාර්තා කර තිබිණි.

බී.බී.සී./‘ද නිව්යෝක් ටයිම්ස්’

055