චීනෙට තිරිඟු නිවුඩු යවන්න ගිවිසුමක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවෙන් චීන  ‌වෙළෙඳ පොළට තිරිඟු නිවුඩු පෙති (Wheat Bran Pellets) අපනයනය කිරීම සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

තිරිඟු පිටි සැකසීමේදී මෙරටට ආනයනය කරනු ලබන තිරිඟු බීජ වලින් 20%ක පමණ ප්‍රමාණයක් නිවුඩ්ඩ ලෙස ඉවත් කරනු ලබයි. 

මෙසේ ඉවත් කරනු ලබන නිවුඩ්ඩ, තිරිඟු නිවුඩු පෙති ලෙස චීනයට අපනයනය කිරීම මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාවක් පවතී. ඒ සඳහා නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට දෙපාර්ශ්වය අවබෝධතා ගිවිසුමක් අතර අත්සන් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. කෙටුම්පත් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම සඳහා විදේශ  අමාත්‍යාංශයේ එකඟතාව ලබා දී ඇත. 

ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුම කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩු රේගුවේ සමාන්‍ය පරිපාලනය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකම සහ වැවිලි කර්‌මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.