ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ජිල් බයිඩන්, රොමේනියාවේ බුකරෙස්ට් අගනුවරට පැමිණියාය. ඇමෙරිකන් ජනාධිපති ආර්යාවගේ මෙම සංචාරයේ අරමුණ රුසියන් හමුදා ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින්, රොමේනියාවට පලා ආ යුක්රේන වැසියන්ගේ සුවදුක් විමසා බැලීමය.
රොමේනියාවේ රැඳී සිටින යුක්රේන සරණාගතයන්ට අවශ්‍ය ආධාර ද රැගෙන ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් බුකරෙස්ට් අගනුවරට ගියේ රාජ්‍ය නොවන සංවිධාන කීපයක ප්‍රධානීන් ද සමඟය. මේ වනවිට රොමේනියාවට පලා ආ යුක්රේන වැසියන් ගණන 9,10,000 ක් බව පැවැසෙයි.
ඇමෙරිකාව එම සරණාගතයන් වෙනුවෙන් ආධාර ලබා දීම ද සිදුවෙයි. පලා ආ එම 9,10,000 අතර තරුණ කාන්තාවන් සහ පාසල් අධ්‍යාපනය අහිමි වුණු යොවුන් දැරියන් 80,000 ක් සිටින බව පැවැසෙයි. එම දැරියන් වෙනුවෙන් අධ්‍යාපන පහසුකම් සැපැයීමට රොමේනියානු රජය කඩිනමින් පියවර ගන්නා බව නිවේදනය කර තිබේ.
(ඒ.එෆ්.පී.)