ජනපතිගෙන් නේස්බි සාමිවරයාට සමරු තිළිණයක්


ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන ලද සේවය අගය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් රාජධානියේ නේස්බි සාමිවරයාට අද (17) පස්වරුවේ විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ආදී විවිධ ස්ථානවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනි සිටිමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගයමින් නේස්බි සාමිවරයාට එම විශේෂ සමරු තිළිණය පිරිනැමුවේය.

කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේ සමාරම්භක සැසිය අතරවාරයේදී එම සමරු තිළිණය පිළිගැන්වූයේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාරම්භක සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර නේස්බි සාමිවරයා එහි ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.  

නේස්බි සාමිවරයා එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය ද හොබවා ඇත.

මෙරට පැවැති තිස් වසරක සිවිල් යුද්ධයේ අවසාන සමයේදී මෙරට හමුදාව දෙමළ ජනතාව ඝාතනය කරමින් මානව හිමිකම් උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල වූ බොහෝ අවස්ථාවලදී ජාත්‍යන්තරයට කරුණු වාර්තා කරමින් නේස්බි සාමිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

යුද්ධයේ අවසාන සමයේදී සිවිල් වැසියන් 40,000ක් ඝාතනයට ලක්වූ බවත් සංහාරයක් සිදු වූ බවටත් ශ්‍රී ලංකාවට චෝදනා එල්ල වූ අතර ජාත්‍යන්තරයේදී අවස්ථා ගණනාවකදීම එම චෝදනා ප්‍රතික්ෂේප කළ නේස්බි සාමිවරයා යුද්ධයේ අවසන් සමයේදී ගැටුම් නිසා සිවිල් වැසියන් 6,000කට ආසන්න පිරිසකට පමණක් ජීවිත අහිමි වූ බව පැවැසීය.

(හර්ෂණ තුෂාර සිල්වා)

(ඡායාරූප- ළහිරු හර්ෂණ)