ජනපතිවරණය ජයගන්න කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්


(නිමල කොඩිතුවක්කු)

ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා ආණ්ඩුව කුමන්ත‍්‍රණකාරී මෙහෙයුමක් ක‍්‍රියාත්මක කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

දිස්ත‍්‍රික් ලේකම්වරුන් 16 දෙනෙකු සංචිතයට කැදවා ඒ වෙනුවට නව දිස්ත‍්‍රික් ලේකම්වරුන් 16 දෙනෙකු පත්කිරිමේ උත්සාහයක ආණ්ඩුව නිරතවන බවත් ඔහු  සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේ දී අද (4) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද කීය.

‘‘දිස්ත‍්‍රික් ලේකම්වරුන් 16 දෙනෙකුට දූෂණ චෝදනා ඇවිත් ඒ පිළිබඳ විමර්ශන සිදුකෙරෙන බවට පසුගියදා පුවත්පත් වාර්තා පළවුණා. එම දිස්ත‍්‍රික් ලේකම්වරුන් සංචිතයට  කැඳවීමට තීරණය කර ඇති බවත් වාර්තා පළ වුණා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්වත්  වෙන කොහෙන්වත් දිස්ත‍්‍රික් ලේකම්වරුන් 16 කට හෝ ඊට අඩු  ගණනකට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් හෝ  විමර්ශනයක් සිදුනොවන බව අපි මේ පිළිබඳ කළ සොයා බැලීමකදී තහවුරු වුණා.

ඒකෙන්ම පැහැදිලි වෙනවා මේක මේ කෘතිමව සිදුකරන චෝදනාවක් කියලා. තමන්ට  ඕන විදියට හසුරවන්න බෑ කියලා පේන දිස්ත‍්‍රික් ලේක්ම්වරු  16 ක් සංචිතයට දාලා තමන්ට නටවන්න පුළුවන් දිස්ත‍්‍රික් ලේක්ම්වරු 16ක් ඒ වෙනුවට පුටුවේ වාඩි කරවගන්නයි මේ අය සූදානම් වන්නේ

ඉදිරි ජනාධිපතිවරණයේදී  තමන්ගේ කුමන්ත‍්‍රණකාරී මෙහෙයුම සාර්ථක  කරගැනිම සඳහා මෙම උත්සාහය ක‍්‍රියාත්මකයි. තමන්ට  ඕන විදියේ කඩයින් 16ක් වාඩි කරගත්තහම ඡන්ද මංකොල්ලයක් කන්න වුනත් පුළුවන්.

තව නොබෝ දිනකින් ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමට  නියමිතයි. එහෙම වෙලාවක මේ දිස්ත‍්‍රික් ලේක්ම්වරු තමන්ට  ඕන විදියට වෙනස් කරලා හීලෑ කරගත්ත පුද්ගලයන්  දිස්ත‍්‍රික් ලේකම්වරු   ලෙස පත් කරගන්න ආණ්ඩුව  දරන මේ ප‍්‍රයත්නය අපි පිළිකුලින් යුතුව හෙළා දකිනවා. ඒ වගේම මෙයට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම අපි ගන්නවා.

පසුගිය ජූලි මස 30 වනදා කොළඹ  ප‍්‍රසිද්ධ  හෝටලයක ඇමෙරිකානු ජාතිකයන් පස් හය දෙනෙක් එනවා. ඔවුන් අත තිබූ ගමන් මලූ ස්කෑන් පරීක්ෂණයට ලක් කරන්න අවස්ථාව දුන්නේ නැහැ. ඔවුන් ලංකාවට ඇවිත් තියෙන්නේ  පෞද්ගලික ගුවන් යානයකින්. පසුව තානාපති කාර්යාලයේ වාහනයකින් අර පරීක්ෂා කිරීමට නොහැකි වූ ගමන් මලූ රැගෙන ගොස් තිබුණා.

මේ පිරිස ගමන් මලූ මෙහි තබා දින දෙකකට පසුව මාලදිවයින වෙත ගොස් ඇති බවත් වාර්තා වුණා. අද මේ රට  ඕන ඇමෙරිකානුවෙක් ඇවිත්  ඕනෑම දෙයක් කරලා  යන්න පුළුවන් විදියේ අතඇරලා ගියපු රටක් බවට පත්වෙලා තියෙනවා.

මෙයට පෙරත් මෙවැනිම පිරිස් විටින් විට පැමිණිලා ඇති බවට අපිට වාර්තා වනවා. රටේ ජාතික ආරක්ෂාවට මේක බරපතල ප‍්‍රශ්නයක්. මේ ගැන අදාළ බලධාරින්ගේ අවධානය යොමුවෙයි  කියා අපි විශ්වාස කරනවා.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී ජයන්ත සමරවීර,  දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර යන මහත්වරුන් ද මේ සඳහා එක්ව සිටියහ.

ඡායාරූපය - ශාන්ත රත්නායක