ජනාධිපති නීතිඥ දිවියේ 50 සපුරයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය නීතිඥ දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙරට නීති වෘත්තිකයින් විසින් සංවිධානය කළ විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ ෂැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ දේශපාලන හා විවිධ ක්ෂේත්‍රවල නියුතු නීතිඥවරු දහසකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සැමරුම් උත්සවයට සහභාගීවීමට පැමිණි ජනාධිපතිවරයා නීතිඥවරුන් විසින් ඉතා හරසරින් පිළිගනු ලැබීය.

ජනාධිපති නීතීඥවරුන් වන රොමේෂ් ද සිල්වා, තිලක් මාරපන, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් උත්සව සභාව ඇමතූ අතර ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ මැති ඇමතිවරු මීට සහභාගී වූහ.