ජනාධිපති වැටුප එපා: අසීෆ් අලී සර්දාරි කියයි


රට මුහුණ දෙන ආර්ථික අභියෝග සැලකිල්ලට ගනිමින්, පාකිස්තාන නව ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර ඇත.

රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා ජනාධිපති සර්දාරි මෙම තීරණය ගත් බව, පාකිස්තාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පාකිස්තාන භාණ්ඩාගාරයට බරක් නොවීම කමන් තීරණය කළ බවත්, එහෙයින් ජනාධිපතිවරයාට හිමි වැටුප බාර නොගැනීමට තීරණය කළ බවත් සර්දාරි පවසා ඇතැයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වී ඇත.

ජනධිපතිවරයාගේ මෙම තීරණයට සහාය පළ කිරීමක් වශයෙන් අලුතින් දිවුරුම් දුන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද ඔහුගේ සේවා කාලය තුළ වැටුපක් ලබා නොගැනීමට තීරණය කර තිබේ.

අසීෆ් අලී සර්දාරි ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරියක වන බෙනාසීර් බූතෝගේ සැමියාය. ඔහු ජනාධිපති ධුරයට පත්වුණු දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර සර්දාරි පාකිස්තාන ජනාධිපති ධුරය හෙබවූයේ 2008 සිට 2013 තෙක් කාලයේය.

 (එන්.ඩී.ටීවී.)