ජපාන නෞකාවක් හම්බන්තොට වරායට


ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15) හම්බන්තොට වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

‘ඉකසුචී’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වීමෙන් පසුව නෞකාවේ මෙහෙයුම් බාර නිලධාරිවරයා වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොයොකෝ ඉසුමා මහත්මිය සහ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරීහු පිරිසක් දකුණු නාවික විධාන බාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවිර මහතා හමුවූහ.

එහිදී ඔවුන් ‍අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූහ.

මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානය බාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු රංජිත් ප්‍රේමරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ  මහතා සහභාගී වූහ.

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැඳි සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතය.

(28535)

 

ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය