ජලය නොමැති ගම්මාන පහක්





  (සුරංග රාජනායක)

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හැර යාම සිදුවෙමින් තිබෙන බව එගම් වැසියෝ පවසති.

මෙහි බොහෝ නිවාස වල ජලය පරිහරණය කිරීම සිදුකරනුයේ එය ලෝකයේ අන්තිම ජල බිඳු කීහිපය පරිද්දෙනි.

නිවසට රැගෙන එන ජල කළයෙන් හාල් සේදීම කළහොත් ඉන් පසු එම ජලයෙන් කෝප්ප පිඟන් හා හැලි වළං සෝදා ඉතිරිය විසි නොකර වැසිකිළි කැසිකිලි පහසුකම් වලට යොදා ගන්නාබවද මොවුහු පවසති.

ජලය නොමැතිව මෙතරම් පීඩාවට පත්ව සිටින්නේ බෝවල, කැබැල්ලගොල්ල, මිරිහන්දෙනිය ,තේ වත්ත, අඟුරුවල හා වළහේන ගම්මානයි. මේ සෑම නිවසකටම වැසි ජලය එකතු කරන භාජන තබා ඇත්තේ නව ව්‍යාපෘතියක් පරිද්දෙනි.

මෙම ගම්මාන සියල්ලටම ඇත්තේ කිලෝමීටර් එකහමාරක් දෙකක් දුරින් පිහිටි පුද්ගලික නිවසියෙකු සතු ලිඳකි.ගම්මානවල සිටින පිරිස් වැඩි දෙනෙක් එදිනෙදා කුලී වැඩ කර ජීවත් වන්නන් ය.

බොහෝ දෙනෙකුට සිදුව ඇත්තේ මුදලට තම ජල අවශ්‍යතා සපුරා ගැනීමටය. වතුර කළයක් කර තබා ගමට රැගෙන එන අයකුට රුපියල් සීයක් දෙසීයක් දිය යුතුය.

එසේ නොමැති නම් කුලිය දී තීරෝද රථයකින් ජලය රැගෙන ඒමද මොවුන් සිදු කර ගනිති.

තේ දළු කඩා හෝ වතු සුද්ද කර ජීවත්වන තමාට එසේ මුදලට ජලය ගතහොත් එදින ආහාර වේල පිරිමසා ගැනීමටද නොහැකි වන බවද ඔවුහු සඳහන් කරති.

මෙම ගම්මානවල කොටසක් උඩුනුවර ප්‍රාදේශීය සභාවටත් තව කොටසක් ගම්පොළ උඩ පළාත ප්‍රාදේශීය සභාවටත් අයත්ය.

ඒහෙත් ඒ එක පරිපාලන ඒකකයකින්වත් මොවුන්ගේ ගැටළුවට විසඳුමක් ලැබී නොමැත. මීට වසර 15කට පෙර සමෘද්ධිය මගින් ගමට ජල ටැංකි දෙකක් සාදා දී ඇතත් අදටත් ඒවාහි එක වතුර බිංදුවක්වත් නොමැත.

එසේම මෙයට වසර හතරකට පෙර ජල සම්පාදන ඇමති ඇතුළු ප්‍රදේශයේ ඇමතිවරු පැමිණ මුල් ගල් තබා නාම පූවරු ගසා ජල ටැංකියක් සෑදුවද අදටත් එය ක්‍රියාත්මක නොමැත.

ජලය මුල් කර ගනිමින් ඡන්දයට පමණක් ගමට විත් තමන්ව රවටන දේශපාලඥයන්ට විරුද්ධව ගම්මු එම නාමපුවරුද කඩා විසිකල බව පවසති.

පාසල් ළමුන්ට නිසි ලෙස පිරිසුදු වී පාසල් යාමට නොහැකි අතර බොහෝ දරුවන් නිවසින් පිරිසිදු ජල බෝතලයක් රැගෙන පාසල් ගියද මෙම දරුවෝ පාසල් නළ ජලය බලාගෙන හිස් බෝතල් පාසලට රැගෙන යන බව පවසති. එසේම මව්වරු පවසන්නේ සතියට දින දෙකක් ළමුන් පාසල් නොයවන බවයි.ජලය ඇති ඈත ප්‍රදේශවලට ගොස් ළමුන් නහවා පිරිසිදු කිරීමට අවශ්‍ය නිසා මේ ලෙස කරන බවද ඔවුන් සඳහන් කරති.

ජල සම්පාදන මණ්ඩලයද පවසා ඇත්තේ ජළ පීඩනය අඩු නිසා ගමට ජලය දීමට නොහැකි බවය. එහෙත් ගම්මු පවසන්නේ ජල සම්පාදන මණ්ඩලය සතු නිල්ලඹ ජලයෝජනා ක්‍රමය හා ගම්පල ජළ යෝජනා ක්‍රමය මෙම ගම්මාන වලට ඉහළින් පිහිටා ඇති බවය.