ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරැඹේ


 


(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (18) ආරම්භ විය.

මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනුයේ  22 වැනි වරට වන අතර එය ලබන 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ’ සමාරම්භක උත්සවය ජාතික උරුම, ප්‍රසංග කලාල හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (18) පෙරවරුවේ පැවැත්විණි.
 
පොත් ප්‍රදර්ශන සහ අලෙවි කුටි 400කට ආසන්න සංඛ්‍යාවක් මෙවර පොත් ප්‍රදර්ශනයට ඇතුළත් කර ඇත. විදෙස් ප්‍රකාශකයන් නියෝජනය කරමින් ඔවුන්ගේ මෙරට නියෝජිත ආයතන මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටියි.
 
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති උපදෙස් පොත් ප්‍රදර්ශන භූමියේදී 100%  ක්‍රියාත්මක කරන බව බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය මහතා කීය.
 
පොත් ප්‍රදර්ශන භූමිය තුළ ද අත්සේදීමේ පහසුකම් සලසා ඇති බව වනිගසූරිය මහතා කීවේය.
 
පාඨකයන්ට අවශ්‍ය පොත් සොයාගැනීම පහසුකරලීම සඳහා මෙවර විශේෂ දුරකතන යෙදවුමක් (ඇප්) හඳුන්වාදීමට, පිවිසුම් දොරටුවේදී ප්‍රදර්ශන කුටි ඇතුළත් ස්ථාන සහිත සිතියමක් ලබාදීමට ද කටයුතු යොදා ඇතැයි සංවිධායක මණ්ඩලය සඳහන් කරයි. එමෙන්ම මෙවර ද පොලීතීන් භාවිතය අවම කරමින් ප්‍රදර්ශනය පැවැත්වීමට ද සැලසුම් කර ඇති බැවින් පොත් ගෙනයාම සඳහා සුදුසු බෑග් රැගෙන එන්නැයි ද සංවිධායක මණ්ඩලය පාඨකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
 
ලංකාදීප පුවත්පත ප්‍රමුඛ විජය පුවත්පත් සමාගම මෙවර පොත් ප්‍රදර්ශනයට මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහාය දක්වයි.

 (ඡායාරූප - ගයාන් අමරසේකර )