ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරියේ ලංකාවට


(හර්ෂණ තුෂාර සිල්වා)


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව එම අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීන් ලගාර්ඞ් මහත්මිය ප්‍රකාශ කර ඇත. 


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරුන් හමුවීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ඇය ඒ බව සඳහන් කර තිබේ. 


ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිපත්ති, ප්‍රමුඛත්වය දිය යුතු ප්‍රතිපත්ති සහ රටේ අභියෝගාත්මක ආර්ථික පරිසරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවද එම නිවේදනයේ දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඇති ව ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට කැපවෙන බව ශ්‍රී ලංකා බලධාරීන් අවධාරණය කළ බව එහි සඳහන්ව ඇත. 


ශක්තිමත් ප්‍රතිපත්ති ගෙනෙමින්, එම ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට එහිදි දෙපාර්ශවයේම එකඟතාව පළ වී තිබේ.  එසේ කිරීම විශ්වාසය ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය බවත් ඒ අතරවාරයේදී ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ගෙනෙන තිරසර සහ ගුණාත්මකභාවයෙන් ඉහළ වර්ධනයක් කරා රට ගෙන යා යුතු බවත් කළමනාකරණ අධ්‍යක්ෂවරිය සඳහන් කර ඇත. 


මෙම ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහාය දීමට සූදානම් බවත් ආර්ථික වැඩසටහන පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඇය සඳහන් කර තිබේ. 


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යටතේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඇතුළු පිරිසක් ඉකුත් දා ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබිණි. 

අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2016 වසරේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කළේය. එහි පස්වැනි වාරිකය පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුණත් ඇති වූ අවිනිශ්චිත සහ අස්ථාවර තත්ත්වය නිසා එම මුදල නොලැබිණි. ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් මස මුල් සතියේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණ ද එම සාකච්ඡා ද කල් දැමිණි.