ජාත්‍යන්තර රතු කුරුසය නියෝජිතයෝ කතානායක හමු වෙති


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිතයන් පිරිසක් සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ ක්‍රියාකාරිත්වය සහ එමගින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා එහි දායකත්වය ලබා දිය හැකි ආකාරයන් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වැඩමුළුවක් පැවැත්වීම පිළිබද සාකච්ඡා කිරීම හමුවේ මුලික අරමුණ විය.

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සමීප සහයෝගය ලබා දෙන ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  නියෝජිත කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ නියෝජිත කණ්ඩායමේ නව ප්‍රධානී සෙවරින් ෂපාස් (Ms Séverine Chappaz), ශ්‍රී ලංකා ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ සන්නිවේදන කළමණාකරු රුවන්ති ජයසුන්දර, ජාත්‍යන්තර රතු කුරුස සහ රතු ක්‍රෙසන්ට් සමිති සම්මේලනයේ දකුණු ආසියානු නියෝජිත ප්‍රධානි ජෝන් එන්ට්විස්ල් (Mr John Entwistle) සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම හමුව සදහා එක් වී සිටියහ.