ඩොලරය 192 ට නගී


හර්ෂණ තුෂාර සිල්වා

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල කර ඇති නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙටර ඉතිහාසයේ පළමු වතාවට අද (30) 192 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (30) 192.50 ලෙස සටහන්ව තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192.50 ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 187.40ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබෙන අතර ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටෙමින් තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක් මේ වනවිටත් කොරෝනා වයිරසයේ බලපෑමට ලක්ව ඇති ආර්ථික කටයුතු හා ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සහන පැකේජ ලබාදී ඇත.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 27 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත සඳහන් කරයි.

එම කාලයේදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 2.7කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 0.4කින් ද ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇත. 

එසේ වුවත් යූරෝ මුදල් ඒකකකයට සාපේක්ෂව 2.8 % කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.2 %කින් ද අවප්‍රමාණය වී ඇත.