ඩොලර් ගෙනා දඹුල්ලේ පලතුරු ගම්මානයට හෙනහුරා ලබයි


(කාංචන කුමාර ආරියදාස)

පොහොර සහ කෘමි නාශක නොමැති කමින් දඹුල්ල වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් ද විනාශ වී ඇතැයි ගොවීහු පවසති.

විදේශ වෙළෙඳපොළ සඳහා ඉලක්ක කරගෙන කාලයක් තිස්සේ වෑවලවැව ප්‍රදේශයේ ගොවීහු පේර,අඹ,කටු අනෝදා,ගස්ලබු,දෙළුම්,ආදී පලතුරු වගාවන් සිදු කරති.

වසරක පමණ කාලයක සිට පවතින කෘමිනාශක,දියර පොහොර,සහ පලතුරු ගස්වලට අවැසි පොහොර වර්ග නොමැතිවීම හේතුවෙන් තම වගාවන් හි නිෂ්පාදන විවිධ කෘමීන්ගෙන් සහ පිටි මකුණන් නිසා විනාශ වෙමින් පවතින බවත් වසර ගණනාවක් සිට මෙරටට ඩොලර් උපයා දුන් සියලු පලතුරු අස්වැන්න ගස් යට විනාශ වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.

වගාවන් අස්වැන්න නෙළන සමය මේ වන විට උදාවී ඇතත් ඔවුන් සඳහන් කර සිටින්නේ  ඉතා අලංකාර පෙනුමැති කිලෝ පේර විදේශ රටවලට පැටවීම සඳහා සූදානම් කළ ද මේ වන විට ඒවා ඉතා අඩු මුදලකට මිලදී ගැනීම් සඳහා පැමිණෙන බවයි.

කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රමාණයට ද පේර ලබාදීමට නොහැකි බවද කිලෝ හාරදහසක් පමණ එක මුරයකට අස්වැන්න නෙලා ගැනීමට නොහැකි වී ඇත්තේ පොහොර සහ කෘමිනාශක දියර පොහොර හිගය නිසාවේ බව ද ගොවීහු පවසති. එක මුරයකට කිලෝ හය හත් සියයක් පමණ සීමා වී ඇතැයි පෙර ගොවීහු පෙන්වා දෙති.