ත්‍රිකුණාමලය සමුද්‍ර හා නාවික කෞතුකාගාරය රැකගන්න උපදෙස්


(යොහාන් භාසුර)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවතින ත්‍රිකුණාමලය සමුද්‍ර හා නාවික කෞතුකාගාරය නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව නිසි වැඩපිළිවෙලක් යටතේ යළි සකස් කරන ලෙස සහ කෞතුකාගරයේ අබලන් වී ඇති ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කර කෞතුක භාණ්ඩ නිසි පරිදි සංරක්ෂණය කරන ලෙසත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

ත්‍රිකුණාමලය සමුද්‍ර හා නාවික කෞතුකාගාරයේ වර්තමාන තත්වය පිළිබඳව සොයා ලැබීමේ නිරීක්‍ෂණ චාරිකාවේදී අමාත්‍යවරයා එසේ උපදෙස් දුන්නේය.

අතීතය හා අනාගතය සම්බන්ධ කරන, වර්තමානයේ සුරක්ෂිත භාරකරුවකු බඳු මේ වැනි වටිනා ස්ථානයක් විනාශ මුඛයට යානොදී, ඉදිරි පරම්පරාවන් වෙත සුරක්ෂිත කර භාරදීමේ වගකීම නිලධාරින්ට පැහැදිලි කළ අමාත්‍යවරයා මෙම කෞතුකාගාරය විශේෂයෙන්ම විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද උපදෙස් දුන්නේය.