තොඩුවාව වෙරළ තීරය සුරැකීමේ වැඩපිළිවෙළක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් හලාවත, තොඩුවාව වෙරළ තීරය  උග්‍ර ඛාදනයකට ලක්ව ඇතැයි ධීවරයෝ පවසති.
 
මේ වන විට වෙරළ තීරය කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් උතුරු දෙසට උග්‍ර ඛාදනයට ලක් වෙමින් පවතින බවද, මේ හේතුවෙන් ධීවර වාඩි රැසක් මුහුදට බිලි වී ඇති බවද ඔවුහු පවසති.
 
එම  ප්‍රදේශයෙන් ගමන් ගන්නා හලාවත වෙන්නප්පුව මුහුදුබඩ මාර්ගයේ ආසන්නයේ සිය ධීවර යාත්‍රා ගාල්කිරීමට සිදුව ඇති බව පවසන ඔවුහු වෙරළ ඛාදනයෙන් තමන්ට දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුවී ඇති බව ද කියති.
 
පවතින තත්වය හේතුවෙන් ඛාදනයට ලක්වෙමින් පවතින වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට  වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
 
ඛාදනයවීමේ තර්ජනයට ලක්ව ඇති ස්ථාන හඳුනාගෙන පසුව එය වැළැක්වීමට බැකෝ යන්ත්‍ර යොදා මුහුදේ වැලි මගින් වෙරළ පෝෂණය කිරීමට නිලධාරීහු පියවරගනිමින් සිටිති.
 
තොඩුවාව වෙරළ තීරය දැනටමත් දැවැන්ත ඛාදනයකට ලක්ව ඇති නමුත් එය වැළැක්වීමට හැකි උපරිම උත්සාහ ගන්නා බව  වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි.