(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වීශාල වශයෙන් ලැබෙන එළවළු තොග මිලදී ගැනීමට වෙළඳුන් පැමිණීම අඩුවීම නිසා එළවළු මිල සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් මේ හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි ගොවීහු පවසති.
දිවයිනේ විවිධ ප්‍රදේශවල වගා කරන ලද එළවළු තොග විශාල වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන එන අතර වාහනවලින් එළවළු ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන්නන් ප්‍රධාන මාර්ගයේ වාහන නවතා තිබෙන ආකාරයද දැක ගැනීමට හැකියාව ලැබිණි.
තමන් අස්වැන්න විකුණාගත නොහැකි වීම නිසා විශාල කාලයක් ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටි බවත්, ඉතා අඩු මුදලට වෙළෙඳුන් එළවළු ඉල්ලා සිටින බවත් ගොවීහු කීහ. ඉහළ මිල ගණන් ප්‍රකාශ කරමින් ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග ගොඩ ගසාගෙන සිටීමට සිදුව ඇති බව ද ඔවුහු පැවසූහ.
කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබුණු ගෝවා, ලීක්ස්, බීට්රූට්, කැරට් කිලෝවක තොග මිල රුපියල් 35 සිට 55 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වූ බවත් වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා, පතෝල, වම්බටු, පහතරට ගෝවා ආදී කිලෝවක් රුපියල් 20ත් 50ත් දක්වා මිල ගණන් යටතේ ව්‍යාපාරිකයන් මිලදී ගත්තද ප්‍රමාණවත් තොග අලෙවි නොවන බවත් ගොවීහු කියති.
සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන වගා කළ එළවළු සඳහා මිලක් නොමැතිවීම නිසා ගොවීන්ට ආර්ථික වාසි ලැබී නැතැයි ඔවුහු පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් දැකගැනීමට හැකියාව ලැබුණු අතර එළවළු තොගවලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම පිරී ගොස් තිබිණි.
දඹුලු ආර්ථිකයේ එළවළු මිල පහළ වැටී ගොවීන් අමාරුවේ
Recommended Articles