දැවිතෙල් මිශ්‍ර ජලයෙන් කැලණි ගඟ ආරක්ෂා කරන්න නාවික හමුදාව දැඩි උත්සහයක


(ඩයනා උදයංගනී)

අධික වර්ෂාව හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ දැවි තෙල් මිශ්‍රණ අවට පරිසරයට හා කැලණි ගඟට එක්වීමේ අවදානමක් මතුව ඇති අතර එය වැළැක්වීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව නාවික හමුදාව පවසයි.

තෙල් පිරිපහදුවේ ඉවත් වන ඉන්ධන නැවත පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයේ ඇති දැවි තෙල් මිශ්‍රණ (Furnace oil) අඩංගු ඉන්ධන ගබඩා ටැංකි තුලට වැසි ජලය ඇතුළු වී පිටාර ගැලීම හේතුවෙන් මෙම අවදානම මතුව ඇත.

බාහිර පරිසරයට වැසි ජලය සමග එක් වූ එම ඉන්ධන පැතිරයාම වැළැක්වීම සහ ඉවත් කිරීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊයේ (4) සවස සිට මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කර තිබේ.

පැවති අධික වර්ෂාවත් සමග සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ ගං වතුර තත්වයක් ඇති වී ඇති අතර, දැවි තෙල් මිශ්‍රිත ජලය පවතින වර්ෂාපතනය අඩු වී කැලණි ග‍ඟේ ජල මට්ටම අඩු වනවිට පට්ටිවෙල ඇල හරහා ගඟට එක් වීමේ අවධානමක් ඇතැයි නාවික හමුදාව සඳහන් කරයි.

දැවි තෙල් මිශ්‍රිත ජලය කැලණි ගඟට එක් වුවහොත් ඉන් ජලය ලබා ගන්නා බියගම හා අඹතලේ ජලපවිත්‍රාගාරවලින් පානීය ජලය බෙදාහැරීමට ද බලපෑම් මෙන්ම ප්‍රදේශයේ පරිසරයට සිදු විය හැකි බලපෑම වැළැක්වීම සඳහා නාවික හමුදාව හා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙම මෙහෙයුම ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි.

දැවි තෙල් මිශ්‍රිත ඉන්ධන පැතිරයාම වැළැක්වීමට පාවෙන ඉන්ධන බාධක (Floating Boom)යෙදීමටත් එම දැවි තෙල් මිශ්‍රිත ජලය ඉන්ධන පෙරණයක් මගින් (Oil Skimmer) පෙරා ඉවත් කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව ද ඔවුන් සඳහන් කරයි.

ඡායාරූප නාවික හමුදා මාධ්‍ය ඒකකය