දැවී ගිය අගමැති නිවෙස සුන් බුන් අතර සැරිසර


(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමෙන් වූ හානිය සියසින් දැක බලා ගැනීමට මාධ්‍යයට අස ඉඩකඩ විවර විය.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසලට විරෝධය දැක්වීම සඳහා ඊයේ පස්වරු 4ට පමණ පිරිසක් පැමිණ ඇති අතර එම පිරිස පොලිස් මාර්ග බාදක කඩාගෙන එන්නට උත්සාහ කරන විට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර යොදා පිරිස විසුරුවා හැර තිබේ.

මද වේලාවකින් පිරිස නැවත එකතු වී අසල තිබූ පොලිස් ට්‍රක් රථයක් තල්ලු කොට මාර්ග බාධක වැටේ හප්පා එම වැට බිඳ දමා ඇතැයි කියති.

පැමිණි පිරිස පාලනය කර ගැනීමට තරම් පොලිස් සහ හමුදා බලඇණියක් එම අවස්ථාවේ එහි සිට නැති අතර කලහකාරීන් අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ තාප්පයෙන් පැන නිවසට ඇතුළු වී තිබේ.

කලහකාරීන් අග්‍රාමාත්‍යවරයාගේ නිවස ආසන්නයට පැමිණෙන විටම රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ආරක්ෂිත ස්ථානයකට පිටත් කොට යැවූ බව අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශය සඳහන් කරයි.

නිවසට ඇතුළු වූ කලහකාරීන් අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ තිබූ වටිනා කියන භාණ්ඩ සියල්ලක්ම සොරාගෙන ගොස් ඇතැයි ද අනතුරුව යම් දහනශීලී ද්‍රව්‍යයක් යොදා ගිනි තබා ඇතැයි ද ආරක්ෂක අංශය සඳහන් කරයි.නිවසට ගිනි තැබීමෙන් අග්‍රාමාත්‍යවරයාගේ නිල රථයට ද දැඩි හානි සිදුවී ඇති අයුරු දැකගත හැකි විය.

මෙම කලහාකාරී ක්‍රියා සිදු සිදුවන අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාගේ නිවස ආසන්න මාර්ගයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ නැගණියක ද සිටි බව ඒ අසල සිටි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

ආග්‍රමාත්‍ය ආරක්ෂක අංශයේ නිලධාරියෙක් පැවසූයේ නිවසේ කිසි දෙයක් ඉතිරි වී නැති බවත් සියල්ල දැලි අඟුරු බවට පත්වී ඇති බවත්ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිනි තැබුණු නිවසින් අද දහවල් වන විටත් දුම්රොටු විහිදෙමින් තිබිණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරු ද හානිය දැක බලා ගැනීමට අද උදේ එහි පැමිණියහ.අසල්වාසීහු ද එහි රැස් වී සිටියහ.

(ශාන්ත රත්නායක සහ හිමත් මතීෂ)

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)