නයාරු ගුරුකන්ද විහාරාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවය


( සිතුම් චතුරංග)

අපවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති  කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදහන  පූජෝත්සවය අධිකරණ  නියෝග  ලැබීමට පෙර එම විහාරස්ථාන  භූමියේදී  සිදු  කිරීමෙන් දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති විය.

අධිකරණ නියෝගය නිකුත්  කරන තුරු බලා සිටියහොත් ආදාහන පූජෝත්සවය සිදු කිරීමට නොහැකිවන බව පවසමින්  ආදාහන පූජෝත්සවය පැවැත්වීමට කටයුතු කළ බව  ආදහන කමිටුව සඳහන් කළේය.

එම කටයුතු සිදු කෙරෙන අතරතුරදී  අධිකරණ නියෝගය රැගෙන නීතීඥවරු ඇතුළු පිරිස  දේහය තැන්පත් කර තිබූ ස්ථානයට පැමිණෙන විටත්  විහාරස්ථ දායක සභාව සහ  බොදු බල සේනා සංවිධානය  මැදිහත්වීමෙන් ආදාහන පුජෝත්සවය සිදු කර තිබිණි.

ආදාහන පූජෝත්සවය එම විහාර භූමියෙන් පිටත යුද හමුදා කඳවුර තිබූ ස්ථානයේ අසළ මුහුදු තීරයේ සිදු කරන ලෙස මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්  දහවල් 12.45 ට පමණ නියෝගය නිකුත් කළේය.

විහාරස්ථානයේ පිහිටි නිරාවි පිල්ලයාර් කෝවිලේ පාලක පාර්ශවය  ඇතුළු  දමිළ ජනතාව  මෙම සිදුවීමට දැඩි විරෝධය එල්ල කළේය.

 

(වීඩියෝ - රොමේෂ් මධුෂංඛ)