නව ගුවන් හමුදාපති අගමැති හමුවෙයි


නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අද(09) විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

18 වැනි ගුවන් හමුදාපතිධූරයට පත්වීමෙන් අනතුරුව එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා නිල වශයෙන් අග්‍රාමාත්‍යවරයා හමුවී සිය සේවය සැලකර සිටියේය.

නව ගුවන් හමුදාපතිවරයාට සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටේ ආරක්ෂක තත්ත්වය සහ ගුවන් හමුදාවේ වර්තමාන කාර්ය භාරය පිළිබඳව මෙහිදී විමසා සිටියේය.

නව ලොවට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉදිරියට ගෙනයාමත් ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමත් පිළිබඳව නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විශ්වාසය පළ කළේය. ලොවටම තර්ජනයක් වී තිබෙන කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉටුකරන කාර්ය භාරය ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ඇඟයීමට ලක්විය.