නවසීලන්තය ලකුණු 5 ක තියුණු ජයක් ලබයි


(යොහාන් භාසුර)

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්‍රී පැවැති අවසන් තරගයෙන් නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 5 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

නවසීලන්තය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයෙන් අවසන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 19.5 කදී ලකුණු 103 කට සීමා විය.

පැතුම් නිස්සංක රැස්කළ ලකුණු 52 ක සෙසු පිතිකරුවන් අසාර්ථකවීම හේතුවෙන් අපතේ ගියේය.

වනිඳු හසරංග, දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගැනීමෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ලකුණු 108 කට සීමා විය.

කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් විනාඩි 20 ක් ප්‍රමාද වී රාත්‍රී 7.20 ට ආරම්භ කළේය.

නවසීලන්ත පිල ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 108 (විල් යංග් 30, මිචෙල් සෑන්ට්නර් 19, ජෝෂ් ක්ලාර්ක්සන් 24, නුවන් තුෂාර 22/2, වනිඳු හසරංග 17/4, මතීෂ පතිරණ 11/3, මහීෂ් තීක්ෂණ 16/1)

ශ්‍රී ලංකා පිල ඕවර 19.5 කදී සියලු දෙනාදැවී 103 (පැතුම් නිස්සංක 52, භානුක රාජපක්ෂ 15, මහීෂ් තීක්ෂණ 14, ලොකී ෆර්ගියුසන් 7/3, ග්ලේන් පිලිප්ස් 6/3)