නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මුද්දරයක් නිකුත් කෙරේ


(තිලකරත්න දිසානායක)
 
ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියාගේ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා , රුපියල් 15 ක් වටිනා තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් අද (30) නිකුත් කෙරිණි.

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයේ සංවිධානත්වයෙන්,  අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජා හස්තියාගේ  හිමිකරු වන හර්ෂ ධර්මවිජය වෛද්‍යාචාර්යවරයාගේ නැදුන්ගමුව නිවසේ දී මෙම උත්සවය පැවැත්විණි.
 
සියම් මහා නිකායේ  බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක තලංගල්ලේ සෝමසිරි නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය රාජා හස්තියා වෙනුවෙන් සෙත් පතා පිරිත් සජ්ඣායනා කළහ.

මෙහිදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදහස් දක්වමින්, මෙරට බෞද්ධ ශාසනික ඉතිහාසය තුළ දළදා කරඬුව වැඩිම වාරයක් වැඩම කරවූ නැදුන්ගමුව රාජා හස්තියා වෙනුවෙන් මුල්දින කවරයක් නිකුත්කිරීම ගැන සතුටට පත් වන බවත් රාජා හස්තියා රැක බලාගැනීම වෙනුවෙන් නැදුන්ගමුවේ ධර්මවිජය පරපුරට ගෞරවය පුද කරන බවත් පැවසීය. ඒ මහතා මෙසේද කීය. 

"පසුගිය වකවානුව තුල අලි ඇතුන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා පිරිසක් සිරගත කළා. පෙරහරවලට අලි ඇතුන් නැතුව ගියා. මෙය අපේ සංස්කෘතික උරුමයට පහරක් වුණා. එම යුගය අවසන් කර නව ගමන් මගක යමින්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නැදුන්ගමුව රාජා හස්තියා වෙනුවෙන් මෙලෙස මුල්දින කවරයක් නිකුත් කළා. මෙම ඇත් පරපුර රැකබලා ගැනීම වෙනුවෙන් ධර්මවිජය වෙද පරපුරට සහ රාජා හස්තියාට දීර්ඝායු පතනව"යැයිද කීය.

දළඳා මාලිගාවේ දිය වඩන නිලමේ වන ප්‍රදීප් දෑල බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

" 1985 වසරේදී  සබරගමුව මහා සමන් දේවාලයේ පෙරහරට සම්බන්ධ වූ රාජා හස්තියා, 2005 වසරේ සිට 12 වතාවක් දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවූවා. මෙම හස්තියාට තවත් දිගු කලක් මෙම අවස්ථාවට සහභාගි වීමට නීරෝගි සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා.

අද වනවිට අලි ඇතුන් පෙරහරවලට නැතිව ගිහින්. එවැනි තත්වයක් තිබියදීත් කැලෑවේ සිටින අලි ඇතුන් සම්බන්ධ කර ගැනීමට රාජ්‍ය නොවන සංවිධානවල විරෝධය පළව තිබෙනවා. මෙය ඉතා කනගාටුදායක තත්වයක්. මෙවන් සමයක ධර්මවිජය වෙද පරපුර මගින් කරන්නා වූ සේවය ඉතා අගය කරනවා" යැයිද පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් සභාවේ සභාපති සුනිල් විජේරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩුලිප් විජේසේකර, අමාත්‍යාංශය ලේකම්වරුන් වන ඩබ්ලිව්. ඒ.චූලානන්ද සහ සුනන්ද මද්දුමබණ්ඩාර, තැපැල් මුද්දර කාර්යාංශයේ අධ්‍යෂක ශාන්ත මාගම්මන, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන ,ගම්පහ දිසාපති සුනිල් ජයලත් , ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක ,ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා යන මහත්ම මහත්මීහු සහ සමස්ත ලංකා අලි ඇතුන්ගේ සංගමයේ සාමාජිකයෝ ද එක්ව සිටියහ.