නිධානයකින් ගත් බව කියන මැණික් සමඟ දෙන්නෙක් අල්ලයි


( බිමල් ශ්‍යාමන් ජයසිංහ- සුමිත් පොතුපිටිය)

වසර සියයක් ඉපැරණි   විහාරස්ථානයක  භූමියකට යාබද ඉඩමක   නිධානයකින් ගොඩගත්  මැණික් ගල් 27ක්  අඩංගු බව කියන බුම්බුලාකාර හැඩයෙන් යුත් උපකරණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.

සැකකාර පුද්ගලයන් දෙදෙනා සමඟ බුම්බුලාකාර උපකරණය භාරයට ගත් බවත් ඒ වටා  සුදු පැහැයට හුරු රෙද්දක් සහ සුදු පැහැති නූල් ද ඔතා තිබූ බව පොලිසිය කියයි.

එම බුම්බුලාකාර හැඩයෙන් යුත් උපකරණයේ නයිපෙන තුනක්  සටහන්ව තිබෙන බවට දක්නට ලැබෙන බවත් ඝණ පාෂාණකින් යුක්ත එම උපකරණය සෙලවීමේදී අභ්‍යන්තරයේ යම් දෙයක් අඩංගුව තිබෙන බවට ඇසෙන බවත්  පොලිසිය සඳහන් කරයි.

පානදුර අළුබෝමුල්ල කාමර කුලියට දෙන ස්ථානයක පුද්ගලයන් දෙදෙනෙක් නිධානයකින් ගොඩගත් බව කියන මැණික් ගල් 27  කෝටි 300 කට විකිණීම සඳහා රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව එම ස්ථානය වටලා සැකකරුවන් දෙදෙනා සමග මැණික් ගල් අඩංගු බව කියන එම උපකරණය  භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

පානදුර මොරවින්න ප්‍රදේශයේ පෞරාණික විහාරස්ථානයකට යාබද ඉඩමක කැණීම්කර නිධානයකින් මෙය ලබාගත් බව ඔවුන් අනාවරණය කළ බව ‍පොලිසිය කියයි