‘‘ඒත් මම බැලුවා, තවම කෝල් එක ආවේ නැත්තේ මොකද කියලා මචං’’
‘‘ඇයි එහෙම ඇහුවේ?’’
‘‘නෑ ඉතිං මචෝ, කවුරුහරි මැරුණු ගමන් උදෙන්ම කතා කරනවනේ ඒකයි බැලුවේ?
මේ ජැක්සන් ඇන්තනි නමැති ප්‍රතිභාපූර්ණ කලාකරුවා මා සමඟ පැවසු අදහසකි. එයට හේතුවක්ද තිබේ. ඒ කලාකරුවකු මියගිය පසු, ඔහු හෝ ඇය පිළිබඳව ‘‘ලංකාදීප ‘‘පුවත්පතට ලිපියක් ලිවීමට කර්තෘතුමාගේ උපදෙස් පරිදි නිතරම මම ඔහුට ආරාධනා කළෙමු. ඒ ආරාධනාව කොතරම් කාර්යබහුල තත්ත්වයේ සිටියද, ඉවත නොහෙළා, අප පුවත්පත කෙරෙහි ඇති ආදරය නිසාම ඔහු එදාට ලිපිය ලියා මට දුරකතනයෙන් දැනුම් දෙන්නේ ‘‘ඔන්න ලිපිය එව්වා මචෝ’’ කියලයි.
එතරම්ම නිහතමානීව සිටි මේ ප්‍රතිභාපුර්ණ කලාකරුවා දැන් ආපෙන් සමුගෙන ගොස් හමාරය. මීට වසරකට පෙර, එනම් 2022 දී ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ අලුත්ම චිත්‍රපටය වන ‘‘සිංහබාහු’’ රූගත කිරීම් තලාව ප්‍රදේශයේ සිදුකොට යළි සුපුරුදු නවාතැනට යාමේ දී රාත්‍රියේ ඔහු ගමන් ගත් කැබ් රථය මතට අලියකු ගැටීමෙන් සිදුවූ අනතුර නිසා, ඔහුටත්, තම සොහොයුරා හා තවත් සහයකුටත් දරුණූ ලෙස තුවාල සිදුවුණි. එයින් ජැක්සන්ට බරපතළ හානි සිදුවූ නිසා ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. එදා සිට පසුගිය 9 වැනිදා පෙරවරුව දක්වා ඔහු සිහිසුන් නොලබු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත්තේ ‘‘අද සුව වෙයි. හෙට සුව වෙයි’’ යන හැමෝගෙම ප්‍රාර්ථනා මැදය. එහෙත් ඒ සියල්ල වෙනස් කරමින් සනාතන බුදු හදමට අනුව ඔහු ජීවිතයෙන් සමුගෙන අප හැරගොස් තිබේ. රාගම පොඩි වී කුඹුරේදී 1958 ජූලි මස 8 වැනිදා උපත ලැබූ කොන්යානිගේ ජෝශප් මල්සි ජැක්සන් ඇන්තනි නොහොත් ලොවේ සැවොම දන්නා ජැක්සන් ඇන්තනි කුඩා කාලයේ සිටම කලාවට පෙම්බැඳ, එයටම ඇතුළුවී එහි බොහෝදේ සොයා ගිය අපේ කාලයේ නිර්මාණශීලී කලාකරුවෙකි. මවුපියන් ‘‘මල්සි’’ යනුවෙන් තම නිවසේ දී හැඳින් වූ ජැක්සන්, හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් හා බණ්ඩාරවෙල ශාන්ත මරියා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ පසුව උසස් අධ්‍යාපනය සඳහා ගනේමුල්ල, ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඇතුළත්වුණි. එයින් සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වු ඔහු, සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳව ගෞරව උපාධියක් ලබාගත් අතර, පසුව ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ජනමාධ්‍යය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හිමි කර ගත්තේය.
ජැක්සන් උපතින් කතෝලිකයකු වුවද බෞද්ධ අධ්‍යාපනයට බොහොම ලැදි අයෙකි. බෞද්ධ පත පොත හදාරමින්, නාහිමිපාණන් වහන්සේලා ඇසුර ලබමින් ඔහු බෞද්ධ අධ්‍යාපනය හොඳින් ප්‍රගුණ කළේය. මේ නිසාම ඔහුට ලාංකේය බෞද්ධ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා වැඩසටහන් ‘‘බෞද්ධයා’’ රුපවාහිනි නාලිකාව සමඟ පැවැත්වීමේ අවස්ථාව උදාවුණි. ඔහු එය ඉතාම ශූර ලෙස එය ඉදිරිපත් කළේ. සංඝයා වහන්සේලාගේ ද ගෞරවාදරයට පාත්‍රවෙමිනි.
ජැක්සන් එක අංශයකට පමණක් සීමා වූ කලාකරුවකු නොවේ. ඔහු වේදිකාව, සිනමාව, හා රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයම ජයගත් කලාකරුවෙකි. රංගධාරයකු, ගායකයකු, චිත්‍රයට, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, තිර රචකයකු, ගීත රචකයකු ලෙසද, නාට්‍ය වේදියකු, රූපවාහිනි පුරකයකු, ගුවන් විදුලි හඬ නළුවකු, විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු, නර්තන ශිල්පියකු, ඉතිහාසඥයකු, සංචාරක වැඩසටහන් මෙහෙයවන්නකු ආදී අංග ගණනාවක් ඔස්සේ තම දැනුම මෙහෙයවූ කලාකරුවෙකි. එවැනි කලාකරුවකු, අදටත් මෙරට කලා ක්ෂේත්‍රයේ සිටීද යන්න පැනයකි.
වේදිකාවේදී ‘‘මරාසාද්, මධුර ජවනිකා, ලෝම හංස, ධවල භීෂණ, අත්, මෝරා, තාරාවෝ ඉගිලෙති, මෙතනින් මාරුවෙනු, වැනි වේදිකා නාට්‍ය රැසකටත්, ‘‘පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සනධ්‍යා, පිටගම්කාරයෝ, කඩුල්ල, අප්පච්චි, වැනි ටෙලිනාට්‍ය ගණනාවකටත්. ‘‘ගුරුගෙදර, ආවා, ජුලියට්ගේ භූමිකාව, ඇඩ්‍ර්ස් නෑ, ගිනි අවි හා ගිනිකෙළි, බව කර්ම,, බවදුර, වීසිදැල, ගරිල්ලා මාකටිං, රන්දිය දහර, සූරිය අරණ, මහරජ ගැමුණූ, ධර්ම යුද්ධය, අස්වැසුම, ඝරසරප,’’ වැනි චිත්‍රපට ගණනාවක් ඔහු රඟපෑවේ විශිෂ්ට රංගධරයකුගේ ලක්ෂණ පෙන්වමිනි... මේ නිසාවෙන්ම ඔහු 16 වතාවක් මෙරට හොඳම නළුවා සම්මානයට පාත්‍රවුණේ වාර්තාවක්ද තබමිනි. ඔහු අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය මෙරට බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ අතර, ඒවාද සම්මානයට පාත්‍රවිණි.
ඔහු ගායකයකු ලෙසින් ක්ලැරන්ස් විජේවර්ධන සමඟ එක්ව ‘‘සිතේ සුසුම් නිවනා ගායන, දැස පියාගත් කල, දේවතාවන් සිටින දවල්, රෑ තාරකාවෝ ‘‘වැනි ගීත එදා සිට අද දක්වා එලෙසින්ම ජනප්‍රිය වී තිබෙන්නේ, ඔහු ගායකයකු සතු ලක්ෂණ නියමාකාරයෙන්ම පෙන්නුම් කළ නිසාවෙනි.
අවසන් කාලයේ දී පවුලේ සාමාජිකයෙක් සමග එක්ව ඔහු ගැයූ ‘‘අහස පොළොව උහුලනවාලු ‘‘ගීතය ද ඉතාම ජනප්‍රියත්වයට පත්විය.
මෙරට ජනප්‍රිය ගායිකාවක හා රංගන ශිල්පිනියක වන කුමාරි මුණසිංහ සමඟ විවාහ වී සිටි ජැක්සන්, මාධවී වත්සලා, අඛිල ධනුද්ධර සහ සජිත අනුත්තර යන දරු තිදෙනාගේ ආදරණීය පියාණන් විය. මේ සියලු දෙනම අද දවසේදී කලා ක්ෂේත්‍රයේ දක්ෂ කලාකරුවන් බවට පත්ව සිටින්නේ ජැක්සන්ගේ ජාන ලක්ෂණවලට පින් සිදුවෙන්නටය. ජැක්සන් අවසන් වරට රඟපෑ ‘‘සිංහබාහු’’ චිත්‍රපටය පිළිබඳව එකල ආදරයෙන් කතාකලේ තම පුතණුවන් දෙදෙනා වන අඛිල හා සජිත සමඟ එකට රඟපාන්න ලැබීම නිසාවෙනි. එහෙත් එය අවසන් කරන්නට ඔහුට නොහැකිවුණී. සිය පියා වෙනුවෙන් එහි බර අඛිල කරට අරගෙන එම චිත්‍රපටය නිම කළේ, පියාගේ ඉල්ලීම නිසාවෙනි
ඔහු රූපවාහිනී ක්ෂේත්‍රයේ කවුරුත් නොකළ බොහෝ දේ කරන්නට සමත් වූ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. 2000 වසරේදී ‘‘හපන් පැදුර’’ නිර්මාණය කරමින් මෙරට දූ දරුවන්ට යළි ළමා ගීත ගැයීමේ ආසාව හා ඒවා ඇසීමේ ආසාව උදාකර දුන්නේය. අනතුරුව ‘‘මහා සිංහලයේ වංශ කතාව, මහා සිංහලයේ යටත් විජිත කතාව ‘‘වැනි ඉතිහාසයේ රුපවාහිනියට ගෙනවිත්, මෙරට අධ්‍යාපනයෙන් විසිවී ගිය ඉතිහාසය විෂය යළි පාසලට ගෙන ඒමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේ නිවැරදි සන්නිවේදකයකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. එයින් නොනැවැතුණු ජැක්සන් , අනතුරුව ‘‘අවාරේ සිරිපා, ගඟ දිගේ, රෝම පුරාණය, සලංහත්තේ. කළු ගඟ දිගේ, වැය වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරමින්, මෙරට රූපවාහිනි කලාව ගම මඟරට ගෙන ඒමට සමත්විනි. ඔහු අවසන්වරට ඉදිරිපත් කළ ‘‘කළු ගඟ දිගේ’’ වැඩ සටහන ඉවර කරන්නට බැරිවුණි. ඔහු මා සමඟ පැවසුවේ මෙරට ගංගා පිළිබඳ සියල්ලම තබා ඉදිරිපත් කර, ඒ කටයුත්ත නිමකර බවයි. එහෙත් අවාසනාවක මහත එය සිදු නොවිණි.
ජැක්සන් නැමැති මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවා පිළිබඳව බොහෝ දේ ලිවීමට හැකිය. ඒ තරමට ඔහු ඇවිදින පුස්තකාලයක් තරම් යැයි මට සිතේ. ඕනෑම ප්‍රශ්නයක දී ඔහු ඒ පිළිබඳ තම විග්‍රහය ඉදිරිපත් කළේ බොහෝ දෙනාට යමක් සිතන්නට ඉඩ හරිමිනි. මේ නිසාවෙන්ම ඔහු බොහෝ දෙනාගේ විවේචනයට ද ලක්විණි. විශේෂයෙන් දේශපාලනඥයන් සමඟ සිටීම නිසා ඔහුට එල්ල වූ විවේචන මැරෙන තුරාවටම සිදුවිණි.
ඇයි මචං මට තවම පහර ගහන්නේ. මම 2018 ඉදලා මේ දේශපාලනයෙන් ඉවත් වෙලා හිටියේ මම ඒ බව ‘‘ලංකාදීපයට’’ සම්මුඛ සාකච්ඡාවක් දීලත් කිව්වා. ඒත් මඩ ගහනවා හරිම දුකයි. මොනවා කරන්න ද?
ඒ මා සමඟ ඔහු වරෙක කී කතාවකි. ඔහු ජනාධිපතිවරණයට පෙර මා සමඟ කළ සංකච්ඡාවේ දී ‘‘මා පාතාල දේශපාලනයට කැමති නෑ’’ කියමින් කළ කතාව එකල බොහෝ දෙනාගේ කතාබහට ලක්විණි. මේ නිසාම ඔහුට එය පැහැදිලි කරන්නට සිදුවුණේ, මරණ තර්ජන පවා එල්ලවූ නිසාවෙනි. කෙසේ වුවද ඔහු කළ කී සමහර දෑ සහ සමහර කතා බොහෝ මතවාදයන්ට ද ලක්වූ අතර, විවේචනවලට ද ලක්විණි.
කෙසේ වුවද ඔහු ඒ කළ කී දෑ පිළිබඳව නැවත සිතීමේ දී අපට එදා ඒ කියු දේවල් කොපමණ දුරට සත්‍යද යන්න වැටහෙන්නේ දැන්ය. එහෙත් පමාවී වැඩිය. ඔහු අද අප අතර නැත. මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවා රටට අවැසි මොහොතේදීම අප අතරින් සමු ගැනීම රටෙත්, අපේත් අභාග්‍යයක් නොවන්නේද?
ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ දේහය හෙට (10) පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා බොරැල්ල ජයරත්න ‘‘රෙස්පෙක්ට්’’ ශාලාවේ තැන්පත් කර ඇති අතර, 11 වැනිදා පෙරවරුවේ සිට 12 වැනිදා දහවල් 12.00 දක්වා ඔහු විසු 90/A/58, වනිගසුරිය වත්ත, රාගම පාර, කඩවත යන නිවසේ තැන්පත් කරන අතර, අවසන් කටයුතු 12 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ රාගම ශාන්ත පාවුළු දේවස්ථානයේ දී සිදු කෙරේ.
ජැක්සන් ඇන්තනි කලාකරුවාණන් ඔබ මෙරටට සම්පතකි. ජාතික වස්තුවක්, බොහෝ දේ අපට උගැන් වූ ගුරුවරයෙකි. කලාකරුවන්ට බොහෝ දේ කියාදුන් මිතුරෙක්, ඔහු අනතුරට ලක් වූ දා සිට ඔහු වෙනුවෙන් අදහන ආගම් අනුව සෙත් ප්‍රාර්ථනා කළේ, ඒ ඔහු මෙරටට ආගම් අනුව සෙත් ප්‍රාර්ථනා කළේ. ඒ ඔහු මෙරටට කියාදුන් බොහෝ දේවලට ප්‍රති උපකාර ලෙසිනි.
මිතුරාණෙනි, ගුරුවරයාණෙනි, ප්‍රවීණ කලාකරුවෙකි. ඔබට මෝක්‍ෂ සුවය අත්වේවායි පතන්නේ දැඩි සංවේගයකින් යුතුවය.
(සමන්ත යහම්පත්)