පකිස්තානයේ ගුවන් අනතුරින් 97ක් මරුට


පකිස්ථානයේ කරච්චි නුවර ඊයේ(22) සිදුවූ ගුවන් අනතුරින් 97 දෙනකු මියගොස් ඇතැයි මේ වනවිට තහවුරු වී ඇති බව සින්ද් පළාතේ සෞඛ්‍ය බලධාරීහු පවසති.

තවමත් පරීක්ෂණ අවසන් වී නොමැති බැවින් මියගිය සංඛ්‍යාව ඉහල යාමට ඉඩ ඇතැයි ද ඔවුහු පවසති.

අනතුර සිදුවන අවස්ථාවේ යානයේ මගීන් 91දෙනකු සහ කාර්යමණ්ඩලයේ අට දෙනකු සිට ඇති අතර මගීන් දෙදෙනකු දිවි බේරා ගැනීමට සමත් වී තිබේ.

ලාහෝර් සිට පැමිණි පකිස්ථාන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් එයාර් බස් ඒ 320 යානය මෙලෙස කඩා වැටුණේ කරච්චි හි ජින්නා ගුවන්තොටුපලට ගොඩ බැස්වීමට සූදානම් වන අවස්ථාවේ දී ය.

යානය ගොඩබැස්වීමට දරන ලද පළමු උත්සාහය අසාර්ථක වී ඇති අතර දෙවැනි වර පහත් කිරීමට සූදානම් වෙද්දී යානය ගිනිගෙන කඩා වැටුණු බව ගුවන් බලධාරීහු පවසති.

පකිස්ථානයේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් නවතා තිබූ වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමෙන් දින කිහිපයකට පසුව මෙම අනතුර සිදුවිය.

ජනාකීර්ණ පෙදෙසකට යානය කඩා වැටුණු අතර අනතුරට හේතුව තවම අනාවරණය වී නොමැත.

දිවි බේගත් මගීන් දෙදෙනාගෙන් එක් අයෙකු වන මුහම්මද් සුබෙයාර් මහතා පැවසුයේ යානය කඩා වැටීමට ආසන්න බව එහි සිටි කිසිවකු නොදැන සිටි බවයි. යානය සුමට ලෙස පියාසර කරමින් තිබූ බවත් ගොඩබැස්වීමට සිදුකළ එක් උත්සාහයකින් විනාඩි 15කට පමණ පසු කඩා වැටුණු බවත් ඔහු පැවසීය.

අනතුරින් පසු සුබෙයාර්ට සිහි නැතිවී ඇති අතර ඔහුට සිදුවී තිබුණේ සුළු තුවාල බව වෛද්‍යවරු පවසති.

මරණ 97ක් තහවුරු කරගෙන ඇති නමුත් ඔවුන්ගෙන් කී දෙනකු මගීන්ද යන්නත් භූමියේ පදිංචිකරුවන් කී දෙනකු ද යන්නත් පැහැදිලි නැත. බලධාරීනු පවසන්නේ මියගිය අයගෙන් 16 දෙනකු හඳුනාගෙන ඇති බවයි.

අනතුරින් දිවි බෝරාගත් අනෙක් තැනැත්තා පන්ජාබ් බැංකුවේ සභාපති සාෆර් මසුඩ් නැමැත්තෙකි. දිවි ගලවාගත් දෙදෙනාම යානයේ ඉදිරිපස ගමන් කරමින් සිට ඇත. තවත් කිහිපදෙනකු දිවිගලවාගෙන ඇතැයි විශ්වාස කරන නමුත් ඒවා මෙතෙක් තහවුරු වී නොමැති බව බලධාරීහු පවසති.


(බීබීසී ඇසුරිණි - 085)