පහළ යාංඔය රක්ෂිතයේ ජයටම වැලි ජාවාරමේ


(පැතුම් දර්ශන)

ආරක්ෂක අංශ සාමාජිකයන් බව කියමින් ප්‍රදේශයෙ පදිංචි පුද්ගලයන් කිහිපදෙනෙකු ද සමග පහළ යාංඔය රක්ෂිතයට අයත් වාගොල්ලාකඩ  මහාපරිමාණ වැලි ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශාවසිහු පවසති.

වැලි කැනීමට බලපත්‍ර ඇති බව හඟවමින්  දීර්ඝ කාලයක් තිස්සේ මෙම වැලි ජාවාරම සිදු කරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

පහළ යාංඔය ව්‍යාපෘතියෙ ඉදිකිරීම් ඇරඹි සමයේ එහි ජලයෙන් යටවීමට නියමිත භූමිවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ව්‍යාපාරිකයින් විසින් නීතියානුකුල බලපත්‍ර සහිතව වැලි කැණීම් සිදු කළහ.

ජලාශයෙහි වැඩ නිම වී එම භූමි වලට ජලය පිරවීම ආරම්භ වීමත් සමග එලෙස කැණීම් කළ වැලි ගොඩවල් බොහොමයක් ජලයෙන් යටවිය. ඒ සමඟ කැණීම් සිදුකළ ව්‍යාපාරිකයන්ද ප්‍රදේශයෙන් පිටව ගිය අතර කැණීම් කළ වැලි අති විශාල ප්‍රමාණයක් ජලයට යටවී රක්ෂිතයේ ඉතරි විය.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වයත් සමඟ යාන්ඔය ජලාශයෙ ජලය ක්‍රම ක්‍රමයෙන් අඩු වන්නට පටන් ගෙන ඇති නිසා ජාවාරම්කරුවන් කුඩා ප්‍රමාණයෙ බෝට්ටු යොදාගෙන එම වැලි ගොඩට ඇද විවිධ ප්‍රදේශවලට විකිණීම සිදු කරන බව පොලිසිය කියයි.