පහළ යාන් ඔය ජලයට කොටු වු සතුන් බේරා ගැනෙති


 
 
පැතුම් දර්ශන
 
 
හොරොව්පොතාන වාහල්කඩ ප්‍රදේශයේ ඉදිකෙරුණ පහළ යාන් ඔය ව්‍යාපෘතියට ජලය පිරවීම ආරම්භ කිරීමත් සමඟ එම භූමියේ ජලයට කොටු වී සිටින සතුන් බේරා ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.
 
හොරොව්පොතාන වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සතුන් ඉවත් කිරීමේ කටයුතු සිදු කරන අතර ඒ සඳහා හොරොව්පොතාන පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් කළ ඉල්ලීමකට අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි හේවා පතිරණ මහතා විසින් අනුරාධපුර පොලිස් ජීවිතාරක්ෂක අංශයේ බෝට්ටුවක්  සමඟ පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ද ලබා දී ඇත.
 
හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුන් බේරා ගැනීම සඳහා බෝට්ටුවක් ලබාදී ඇති අතර ඒ අනුව බෝට්ටු දෙකක් යොදා ගනිමින් වනජීවී නිලධාරීහු සතුන් බේරා ගැනීම සිදුකරති.
 
මීට සති දෙකකට පමණ ඉහත දී ආරම්භ කළ මෙම සතුන් බේරාගැනීමේ මෙහෙයුම් යෙදී බෝට්ටුවෙන් ගොස් බේරාගන්නා සතුන් දැමීමට අවශ්‍ය උපකරණ වනජීවී නිලධාරින්ට නොතිබූ අතර එම උපකරණ ලබා දුන්නේ ද හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසිනි.
 
මෙම මෙහෙයුමේ දී ජලයට කොටුවී සිටි උරගයන් 800කට ආසන්න ප්‍රමාණයක් සහ ඉත්තෑවන් තිදෙනකු බේරාගැනීමට මේ වන විට වනජීවී නිලධාරීන් සමත්ව තිබේ.
 
අක්කර අඩි එක්ලක්ෂ හතලිස් දහසක ජල ධාරිතාවක් අපේක්ෂිත පහළ යාන්ඔය ව්‍යාපෘතියෙ මේ වන විට අක්කර අඩි 72,000 ක් ජලය පිරී පවතී.