(ගයාන් සූරිය ආරච්චි සහ ටී.කේ.ජී කපිල)
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි නායකයකු බව කියන මෝදර පූකුඩි කන්නා නැමැත්තාගේ සමීපතමයකු අද (13) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම අපරාධකරු ගුවන් යානයකින් අද (13) පාන්දර 2.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළට රැගෙන ආ බව එම ආරංචි මාර්ග කියයි.
අන්තර්ජාතික පොලිසියෙන් රතු වරෙන්තු ලබා සිටින අපරාධකරුවන් මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කරනු ලබන මෙහෙයුම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙම සැකකරු ඉන්දියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඉන්දියානු පොලිසිය විසින් මේ රටට දැනුම් දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරු මෙරටට රැගෙන ඒමට දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.