පාර්ලිමේන්තුවට ආරක්ෂාව දුන් හමුදාව-පොලිසිය අතරට ජනපති යයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක හමුදාව සහ පොලිසිය හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඔවුන්ට ස්තුතිය පළ ක⁣ළේය.

ජනාධිපති ධුරයට පත්වී පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරතුර සිය රථයෙන් බැස ආරක්ෂක හමුදාව අතරට ගිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසිය කළ මෙහෙවර පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කර තිබෙි.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමෙි ඡන්ද විමසීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දැඩි ආරක්ෂක ක්‍රම වෙිදයක් ක්‍රියාත්මක විය.
ස්ථාන තුනක දී ජනාධිපතිවරයා රථයෙන් බැස හමුදාවන්ට ස්තුතිය පළ කර තිබෙි.

2020 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත් වූ පසුබිම යටතේ පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය සදහා රනිල් වික්‍රමසිංහ මහතා  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය 2021 වර්ෂයේ ජුනි මස 23 දින 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය. 
1949 මාර්තු 24 දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජයේ ද අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවීය.

1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ එතුමා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි.

1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූ අතර එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි. අවුරුදු 28 දී විදේශ කරයුතු නියෝජිත ඇමතිවරයා වූ හෙතෙම, පසුව තරුණ කටයුතු, අධ්‍යාපන සහ කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ ලෙස කැබිනට් අමාත්‍යධුර හෙබවීය.

1989 මාර්තු 06 - 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය. 

එතුමා ප්‍රථම වතාවට 1993 මැයි 7 වැනිදා ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරයා ලෙස තේරී පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර හෙබවීය.  වික්‍රමසිංහ මහතා, දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වාත්, තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වාත්, සිව්වන වරට 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්, පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. 

ඉන් අනතුරුව පසුගිය මැයි මස 09 දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් වීමෙන් පසු  රනිල් වික්‍රමසිංහ මහතා එම මස 12 වැනිදා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් වී එම ධුරයේ කටයුතු කරමින් සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පසුගිය (14) දා සිට වැඩබලන ජනාධිපති ධුරයට ද පත්විය.
කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දී තිබේ.