පාරේ මරාගත් බස් රියැදුරන් අධිකරණයට


(ගයාන් සූරියආරච්චි)

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මගීන් රැගෙන අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බස්රථ දෙකක රියැදුරන් දෙදෙනකුගේ රියැදුරු බලපත්‍ර පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව කඩවත පොලිසිය පවසයි.

මෙම බස් රථ දෙක ගම්පහ - කොළඹ සහ කොළඹ - මහනුවර  ධාවනය කරනු ලබන පෞද්ගලික බස් රථ දෙකක් බව පොලිසිය කියයි.

මෙම රියැදුරන් දෙදෙනා එකිනෙකා අභිබවමින් මගීන් අනාරක්ෂිතභාවට පත්කරමින් මාර්ගයේ අපරීක්ෂාකාරීව ධාවනය කළ බව පොලිසිය කියයි.

ඒ අනුව මෙම බස් රථ දෙක කිරිල්ලවල ප්‍රදේශයේදී පොලිසිය විසින් නවත්වා රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර පොලිස් භාරයට ගත් බවත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පැවැසීය.

බස්නාහිර උතුර බාර සහකාර පොලිස් අධිකාරී II අර්ජුන කොඩිකාර මහතාගේ උපදෙස් පරිදි කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුමාර හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.