පාසල් සිසුන්ගේ පැමිණීම අදත් අඩාලයි


(අජිත්ලාල් ශාන්තඋදය, ලලිත් නවරත්න, දීපාල් ද සිල්වා, පාලිත ආරියවංශ, සුදත් එච්.එම්.හේවා, චාපා මධුභාෂිණී, කේෂර ගුණතිලක, ජේ.කේ.එල්.චාමින්ද සහ දිනේෂ් උපේන්ද්‍ර)                                                                                               

සබරගමු පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල පාසල් දරුවන්ගේ පැමිණීම ඊයේ(06) දිනයටත් වඩා අද(07) අඩු වූ බව සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහින්ද එස්. වීරසුරිය මහතා පැවසුවේය. නාගරික පාසල්වල 3%ක් සහ ගම්බද පාසල්වල 8%ක් වැනි ප‍්‍රතිශතයකින් පැමිණීම සටහන් වූ බවද ඔහු පැවසුවේය.

දිවයිනේ සියලු පාසල්වල 6 සිට 13 ශ්‍රේණිවල දෙවන වාරය සඳහා පාසල් ඊයේ (06)  ආරම්භ කළද දෙවන දිනය වනවිටද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම එම තත්වයෙන්ම පවතින බවද, ගම්බද පාසල්වල සිසුන් සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට තිබූ බවද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවසීය.

එසේ වුවත් ඊයේ(06) දිනයට වඩා පාසල් ළමුන්ගේ පැමිණීමේ වර්ධනයක් අද(07) පැවති බව අම්බලන්ගොඩ කලාපයේ සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ගම්බද පාසල්වල දක්නට ලැබුණු බව එම පාසල්වල විදුහල්පතිවරු පවසති.

ඊයේ(06)  10%ක් පමණ ළමුන් පැමිණි බවත් අද උදෑසන  20%ට වැඩි ප්‍රමාණයක් ළමුන් පැමිණි බව අම්බලන්ගොඩ, අදාදොළ ශ්‍රීපති මහා විද්‍යලයේ විදුහල්පති ජී. අයි. ද සොයිසා මහතා පැවසීය. මේ අතර නගරබද පාසැල්වල  සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණද ඊයේ දිනට සාපේක්ෂව  වැඩි සිසුන් පිරිසක් පැමිණ සිටිබවද ඔවුහු පැවසූහ.

එසේම 1වන ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණය දක්වා පන්ති ලබන සඳුදා ආරම්භ කිරීමට තීරණය කිරීමත් සමඟ එම දරුවන්ගේ දෙමාපියන් ශ්‍රමදාන පවත්වා  එම ගොඩනැගිලි හා අවට පරිසරය පවිත්‍රකිරීමට පියවරගෙන තිබේ.

මේ අතර හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ මුළු සිසුවියන් 1444 න් සිසුවියන් 57 පමණක් පැමිණි අතර අද දිනයේ එම පැමිණීම 109 දක්වා වැඩි වී ඇත. ඒ අනුව මැදිරිගිරිය ජාතික පාසලේ මුළු සිසුන් 3077 ගෙන් ඊයේ පැමිණ සිටියේ සිසුන් 164 කි. ඊයේ දිනයේ සිසුන් 234 සුළු වැඩි වීමක් වී තිබුණි.

හිඟුරක්ගොඩ රජරට විද්‍යාලවල ද සිසුන් 1890 ගෙන් ඊයේ පාසලට පැමිණ සිටියේ සිසුන් 149 වන අතර  අද සිසුන් 202 දක්වා සුළු වැඩිවීමක් සිදුව තිබිණි. දිවුලන්කඩවල මධ්යන මහා විද්යා ලයේ ද මුළු සිසුන් 2300 ගෙන් ඊයේ පාසලට පැමිණ සිටි සිසුන් ගණන 230 වූ අතර අද දිනයේ එය 305 ක් සුළු වැඩි වීමක් තිබුණී.

එසේම මොනරාගල අධ්‍යාපන කලාපයේ රජයේ පාසල්වලට සිසුදරුවන් පැමිණීම අද (7) දිනයේත් බෙහෙවින් අඩුවී ඇති බවද පාසලට පැමිණ සිටියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 311ක් පමණක් බවද විදුහල්පති ඩී.එම්.පී බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර, දකුණු පළාතේ පාසල් දරු දැරියන්ගේ පැමිණීමේ සුළු වර්ධනයක් අද (07) දක්නට ලැබුණු බවද ගාල්ල නගරයේ පාසල්වල දරුවන්ගේ පැමිණීම  ඉතා පහළ මට්ටමක පැවති බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා ලංකාදීපයට පැවසීය.

එසේම, කුලියාපිටිය පාසැල්වල සිසුන්ගේ පැමිණීම අද(07) අවම මට්ටමක පැවති බවත්, කුලියාපිටිය පොලිස් වසම තුළ පාසැල් සිසුන් 6.4%ක් පැමිණ තිබූ බවත් කුලියාපිටිය පොලිසිය කියයි.

(ඡායාරූප - දීපාල් ද සිල්වා)

(ඡායාරූප - පාලිත ආරියවංශ)

( ඡායාරූප - චාපා මධුභාෂිණී)

(ඡායාරූප - කේෂර ගුණතිලක)