පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්


(අංජුල මහික වීරරත්න)

පාස්කු  කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි  විමර්ශනය කරන බව කැබිනට්  ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ඒ සඳහා  විශේෂ කමිටුවක් පත් කර තිබෙන අතර ජනාධිපති කාර්යාලය හරහා යම් අක්‍රමිකතාවක් වී තිබේ නම් හෝ කොමිෂන් සභා වාර්තා වල යම් අඩුපාඩුවක්  තිබේ නම් ඒ පිළිබඳව අදාල  කමිටුව විමර්ශන කරන බව කැබිනට් ප්‍රකාශකවරයා කීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ වාර්තා වත්මන් ජනාධිපතිවරයාට ලැබී ඇත්දැයි මෙතෙක් නොදන්නා බවත්, ඒ පිළිබදව කරුණු විමසා ප්‍රකාශයක් සිදු කරන බවත් අමාත්‍යවරයා  කීවේය.

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන අතර අනුර දිසානායක  ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි කාලය ඇතුලත ඒ සඳහා මූලික කටයුතු ආරම්භ කර ඇති බව විජිත හේරත් මහතා වැඩිදුරටත් කීය.

 කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.