පැහැරගත් එළවළු ලොරියට වෙඩි තබා අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

ලොරියක් කොල්ල කා පලායමින් සිටි පුද්ගලයකු කඩුවෙල නගරයේදී පසුපස හඹා ගොස් ලොරියට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගැනීමට කඩුවෙල පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.

වත්තල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලකට එලවලු රැගෙන පැමිණි අධිශීතකරන සවි කරන ලද ආවරණය කරන ලද ලොරි රථයේ රියදුරු සුපිරි වෙළඳසලට යාමට පෙර තේ පානය සඳහා අසල රාත්‍රී ආපනශාලාවක් ඉදිරිපිට නතර කර තිබියදී සැකකරු මෙම ලොරිය සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් පණිවිඩ හරහා ලද තොරතුරක් අනුව අවට පොලිසි මගින් මාර්ග බාධක දමා ලොරිය නතර කිරීමට උත්සාහ කළද සැකකරු ලොරිය නොනවත්වා ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.

අනතුරුව කඩුවෙල පොලිස්  ස්ථානාධිපති කාන් වීරසිංහ මහතා ප්‍රමුඛ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ විශේෂ යතුරුපැදි කණ්ඩායමක් ලොරියට වෙඩි තබා ඇති අතර එම අවස්ථාවේදී සැකකරු ලොරියෙන් බැස පලායමින් සිටියදී අත් අඩංගුවටගෙන ඇත.