ශ්‍රී ලංකාව කොවිඩ් 19 ආසාදිත විදේශිකයන්ට සැලකූ ආකාරය අනෙක් රටවල්ද අනුගමනය කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.
පිටරටවල් එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් නැවත එවන්නේ නම් එය මානුෂිය අයුරින් කළ යුතු බවත් ශ්‍රී ලංකාව විදේශිකයන්ට සත්කාර කළ ආකාරයෙන් කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කර ඇති ඒ මහතා එය එසේ වූයේ නම් ශ්‍රී ලංකාව දැන් මුහුණ දී සිටින ප්‍රශ්නයට මුහුණ නොදෙන්නේ යැයි පැවසූ බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
මෙම සටහන තබන මොහොත වනවිට මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1631 කි. අප රටේ කොරෝනා රොගීන්ගේ සංඛ්‍යාව මෙතරම් ඉහළ යාමට බලපෑ ප්‍රධාන සාධක දෙකකි. පළමු සාධකය නාවික හමුදා කොරෝනා රෝගී පොකුරය. එබඳු රෝගී පොකුරක් බිහිවීම කෙසේ හෝ වළක්වා ගත යුතු වුවද කුමන හෝ අත්වැරැද්දක ප්‍රතිඵලයක් ලෙස එම පොකුර බිහිවිය. මත් කුඩුවලට ඇබ්බැහි වු කොරෝනා රෝගීන් වැටලීමේ මෙහෙයුමක් නිසා එම තත්ත්වය ඇතිවු අතර එය උපේක්ෂාවෙන් දරා සිටීමට අපට සිදුවී තිබේ. දෙවැනි කොරෝනා පොකුර ‘කුවේට් පොකුරය’ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයට නිමිත්තද එම කුවේට් පොකුරය.
ජාත්‍යන්තර ප්රඥප්තිවලට අනුව සහ ශිෂ්ට සම්පන්න සෑම රාජ්‍යයක්ම පිළිගත් මානව හිමිකම් මෙන්ම ගිවිසුම් ද පොදු සම්මුතීවලට අනුව රෝගියකු තවත් රටකට පිටුවහල් කළ නොහැකිය. එහෙත් කුවේට් රටෙන් මෙන්ම මැද පෙරදිග රටවල් ගණනාවක්ම කොරෝනා රෝගීන් මෙරටට පිටුවහල් කර තිබේ. කුවේට් රාජ්‍ය කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන් රැසක් මෙරටට එවා ඇත්තේ ඔවුන්ගේම ගුවන් යානාවලින් බවද වාර්තා වේ.
සෑම රාජ්‍යයක්ම රාජ්‍ය තාන්ත්‍රික ලෙස කටයුතු කළ යුතුය. රටකින් රටකට කිසියම් පුද්ගලයකු එවන්නේ නම් පළමුව පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර කොරෝනා ආසාදිතයකු නොවන බවට තහවුරු වූ පසු එම රටට එවීම කළ යුතුය. එය එක් අතකින් නීතිරීති, සම්මුති හා සම්ප්‍රදායන් ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ සදාචාර බලය මෙන්ම ආචාර ධර්ම ආරක්ෂා කිරීමකි.
මේ සම්බන්ධ කදිම නිදසුන වන්නේ මෙරටින් හමුවූ පළමු කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාවය. ඇය මෙරටට පැමිණ සිටියේ සංචාරයකටය. ඒ අතරතුර ඇයට කොරෝනා රෝගය වැළඳුණි. ශ්‍රී ලංකා රජය විශේෂ ගුවන් යානයක් මගින් ඇයව නැවත චීනය බලා පිටත් කර ඇරියේ නැත. ඒ වෙනුවට ඇය සම්පුර්ණයෙන්ම සුවපත් වනතුරු ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව සතුටු සිතින් ඇයට චීනයට යාමට අවස්ථාව උදා කළේය.
සෑම රටක්ම එම ආදර්ශය ගුරුකොට ගත යුතුය. යම් පුද්ගලයකුට කොරෝනා රෝගය වැළඳී ඇති බව දැන දැනම එම පුද්ගලයාගේ රටට විශේෂ ගුවන් යානයක් මගින් එවන්නේ නම් එය ඉතා අශිෂ්ට වූවකි. රටක් එතරම් පහළට වැටීම එක් අතකින් විමතිය දනවන්නකි. මන්දයත් නිරෝධායන නීති, ජාත්‍යන්තර නීති, සම්මුති හා සම්ප්‍රදායන් පනවා තිබෙන්නේ ඕනෑම දුෂ්කර තත්ත්වයක් යටතේ වුවත් ඒවා උල්ලංඝණය නොකර කටයුතු කිරීමටය. මනුෂ්‍ය ශිෂ්ටත්වය රැකෙන්නේ එමගිනි.
ලෝකයේ බොහෝ රටවල ශ්‍රී ලාංකිකයෝ ජීවත් වෙති. ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් දෙනා තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන්නැයි ඉල්ලා සිටිති. ඔවුහු අපගේම පුරවැසියෝ වෙති. ඔවුන් යම් විපතකට ගොදුරුව සිටින්නේ නම් මානව දයාවෙන් යුතුව ඔවුන්ට උපකාර කළ යුතුය. ලෝකයේ කුමන රටක ජීවත් වුවද අපගේ පුරවැසියන් සියලු දෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බව ශ්‍රී ලංකා රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. සෞඛ්‍ය අධ්යක්ෂ ෙජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ විදේශවල සිරවී සිටින කිසිදු පිළිසරණක් නැති සෑම ශ්‍රී ලාංකිකයකු මෙන්ම රෝගී ඕනෑම ශ්‍රී ලාංකිකයකු නැවත ගෙන්වා ගැනීමට ආණ්ඩුව කිසි විටෙක නොපැකිලෙන බවය.
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ ක්‍රියාවලිය පහසු නැත. එසේ ගෙන්වන ශ්‍රී ලාංකිකයන් අනිවාර්යෙන් දින 14ක් නිරෝධායනයට යටත් විය යුතුය. ඒ සඳහා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් තිබිය යුතුය. වෛද්‍ය පහසුකම් ප්‍රමාණවත් විය යුතුය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඔරොත්තු දිය යුතුය. ඒ අනුව එම ක්‍රියාවලිය කියන තරමට හිතෙන තරමට පහසු කාර්යයක් නොවේ.
කරුණු කාරණා එපරිදි වනවිට විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වීමේ ක්‍රියාවලිය අංග සම්පූර්ණ සාකච්ඡාවකට බඳුන් කළ යුතුය. එමෙන්ම තානාපති කාර්යාල හරහා ඒ ඒ රටවල බලධාරීන් සමග සාකච්ඡා කර සුදුසු ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එසේ නොවුණ හොත් එක් අතකින් විදේශයන්හි සිටින අපගේ පුරවැසියෝ අසරණ වෙති. අනෙක් අතින් අපගේ රට කොරෝනා පාරාදීසයක් බවට පත්වනු ඇත.