පිරමිඩාකාර මූල්‍ය ආයතන ගැන මහබැංකුවෙන් අධිකරණයට වාර්තාවක්


(රෝෂන් තුෂාර)

දිනෙන් දින රට පුරා ව්‍යාප්ත වන නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සවිස්සර වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළේය.

මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2024 දෙසැම්බර් 18 වෙනි දින නිකුත් කළ නියෝගයක් ප්‍රකාරව මෙම වාර්තාව මහ බැංකුව  ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති නිලධාරී අනුර ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පිටු හයකින් සමන්විත එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ අදාල දැනුවත් කිරීම් ගම් මට්ටමින් ව්‍යාප්ත කර ඇත්ද? යන්න පිළිබඳවය.

ඊට පිළිතුරු ලබා දුන් නීති නිලධාරී අනුර ජයසිංහ මහතා කියා සිටියේ වැඩමුළු, සම්මන්ත්‍රණ ,සාකච්ඡා ගම් මට්ටමින් දීප ව්‍යාප්තව ව්‍යාප්ත කර ඇතිබවය.