පුත්තලමෙන් රිමාන්ඩ් කළ නීතිඥවරිය අභියාචනාධිකරණයෙන් මුදා හරියි


(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කස්තුරි)

විනිසුරුවරියට ගෞරවාන්විතව ආමන්ත්‍රණය නොකිරීම සහ අධිකරණයට ඇතුළු වීමේදී හිස නමා ආචාර නොකළ බවට චෝදනා ලැබ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන් පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවනදුරුගොඩ මහත්මිය විසින් රිමාන්ඞ් භාරයට පත් කල නීතිඥවරිය වහාම මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා විභාග කිරීමේ විධිමත් ක්‍රියා පටිපාටියක් ඇතත් නීතිඥවරියට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමේදි මහාධිකරණ විනිසුරුවරිය එම ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති, නීතීඥ රජීව් අමරසූරිය මහතා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් දැක්වු කරුණු සැළකිල්ලට ගත් විශේෂ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ නීතිඥවරිය වහාම මුදාහැරීමට මෙලෙස නියෝග කළේය.

පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය නියම කළ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් රිමාන්ඞ් භාරයට පත් කරන ලද පුත්තලම මහාධිකරණයේ නීතිඥවරියක වශයෙන් කටයුතු කරන ප්‍රියංකා උදයාංගනී සමරතුංග මහත්මිය වහාම මුදාහැරීමට නියම කළ අභියාචනාධිකරණය අප්‍රේල් 28 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඇයට නියෝග කළේය.