පුත්තලමේ තල් ගසට හොඳ කලක්


 

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

පුත්තලම දිස්ත්‍රික්කය තුළ තල් ආශ්‍රීත කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට පොල්,කිතුල් ,තල් ,රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පියවර ගෙන තිබේ. 

උතුරේ ජනතාවට තල් ගස් කප් රුකක් උවද දකුණේ පොල් ගස කප් රුක පොල් ගසය.

මේ නිසාම පුත්තලම දිස්ත්‍රික්කයේ තැනින් තැන විසිරි ඇති ස්වභාවික ක්‍රමවේදයන් අනුව පිහිටි තල් ගස නිසි ඇගයීමකට ලක් වී නොතිබිණි.

මේ හේතුවෙන් තල් ගස නිසි ලෙස කළමනාකරණය කරමින් එයින් උතුරේ ජනතාවගේ ප්‍රයෝජනයට ගැනීමට කටයුතු ආරම්භ කර තිබේ.

මේ නිසාම උතුරේ තල් ගස ආරක්ෂා කර ගනිමින් ඒ සඳහා අවශ්‍ය නිසි පහසුකම් සේම නව ක්‍රමවේදයන් හරහා වෙළඳපොළ සකසමින් පුත්තලමේ තල් ගසට ද නිසි තැන ලබා දීමට රාජ්‍ය ඇමැති නිළධාරින්ට උපදෙස් දී ඇත.

ඒ අනුව ‘ප්ලාස්ටික් භාවිතය අවම කරමින් පරිසර හිතකාමී වටපිටාවක්’ යන තේමාව යටතේ තල් ගස ආශ්‍රීත කර්මාන්තයන් දියුණු කරමින් ජනතාවට තල්  ආශ්‍රිත කර්මාන්ත වලට හුරු කිරිම  අරමුණ බව අරුන්දික ප්‍රනාන්දු මහතා කියයි.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ තල් ආශ්‍රිත කර්මාන්තයේ ජනප්‍රිය කරවීමේ අරමුණින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ දී  තල් ආශ්‍රීත නිෂ්පාදන ජනතාව අතර ජනප්‍රිය කිරිමේ අරමුණින් විශේෂ ප්‍රදර්ශනයක් ද සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට රාජ්‍ය ඇමැතිවරයා සමඟ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කුෂාන්ත පතිරාජ මහතා ද එක්ව තිබිණි.

මෙහිදී තල් සංවර්ධන මණ්ඩලය තල් ආශ්‍රිත නිෂ්පාදන රැසක් ප්‍රදර්ශනයට එක්කර තිබූ අතර ඉතාම සහනධායි මිලකට මෙම නිෂ්පාදන මිලදී ගැනීමට ද අවස්ථාව ලබා දී තිබුණි .