පේරාදෙණිය - චෙන්කලාඩි මාර්ගයේ කොටසක් ජනතා අයිතියට


(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි ( A005 ) මාර්ගයේ  සංවර්ධනය කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස අද දින ජනතා අයිතියට පත් කළේය.

මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි මාර්ගය දිගින් කි.මි 275ක් වේ.

මෙම මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස පුලුල් කොට සංවර්ධන ය කර ජනතා අයිතියට පත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි .

මෙම මාර්ග කොටස අදියර 3ක් යටතේ දේශීය ඉදිකිරීම් සමාගම් 2 ක් මඟින් සංවර්ධනය කර ඇත. පලමු අදියර ලෙස බිබිල සිට පදියතලාව දක්වා කි.මි 29 ක් සංවර්ධනය කර ඇත.

එහි දෙවන අදියර පදියතලාව සිට ටැම්පිටිය දක්වා කි.මි 30 ක් සංවර්ධනය කර ඇත.

ටැම්පිටිය සිට චෙන්කලාඩි දක්වා කි.මි 27.7 ක් තුන්වන අදියර ලෙස සංවර්ධනය කර ඇත. මෙම බිබිල සිට චෙන්කලාඩි දක්වා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රු.මිලියන 7,200 ක මුදලක් වැය කර ඇත.

මෙම මාර්ග කොටස සංවර්ධනය කිරීම සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල ව්‍යාපෘතිය SFD ( Saudi Fund for Development ) මඟින් මූල්‍යාධාර සපයා ඇත.