(රුමේෂ් එම්. වීරසේකර)
දඹුල්ල - බකමූණ ප්රධාන මාර්ගයේ දම්පුරගම මංසන්ධියේදී පොලිසියේ නිළධාරින් කීපදෙනෙකු සිදු කරන ලද වෙඩි ප්රහාරයකින් වන අලියෙකු මියගොස් ඇති බව ඇලහැර වනජීවී කාර්යාලය පවසයි.
එම වන අලියාට වෙඩි තබා ඇත්තේ බකමූණ පොලිසියේ රාත්රී මුර සංචාරයේ යෙදෙන පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් සාන්ත මහතා සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් පමණ උස අඩි අටකින් යුත් අලියෙකි.
පොලීසියට අයත් ත්රීවිල් රථයෙන් රාත්රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරීන් කිහිපදෙනාට වන අලියා පහරදීමට යාමේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට වෙඩි තබා ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයිද කියයි.
වන අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් කිහිපදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලිසියට තමන් ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් ගිය මොහොතේදී එහි පොලිස් ස්ථානාධිපතිවරයා ,වන අලියාට වෙඩි තබා ඇත්තේ, මුර සංචාරයේ යෙදුණ පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව උදෙසා බව ප්රකාශ කරමින් ඔවුන් අත්අඩංගුවට ගැනීම ප්රතික්ෂේප කිරීමට කටයුතු කළ බවද ඇළහැර අඩවි ආරක්ෂක සුනිල් ශාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.
පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවද සුනිල් මහතා කීවේය.
සිද්ධිය පිළිබඳව බකමූණ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අදාළ පොලිස් නිලධාරීන් කීපදෙනා ඇළහැර අඩවි ආරක්ෂක කාර්යාලයට භාරදීමට කටයුතු කරන බවයි.