පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අප රටට විතරක් නරකද?


පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ඉදිරිපත්ව තිබෙන අලු‍ත් යෝජනාව පිළිබඳව අධ්‍යයනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් කමිටුවක් පත්කර තිබේ. සාමාජිකයන් 05 දෙනකුගෙන් සමන්විත අදාළ කමිටුව වෛද්‍ය සංගමයේ සාමාජික ශාඛා සම්බන්ධීකරණය කරමින් වාර්තාවක් සකස් කිරීමට නියමිතය. එම වාර්තාව අපේ රටට ලෝක තත්ත්වයේ වෛද්‍ය සේවාවක් ලබාදීම සඳහා ඉහළ ප්‍රමිතියකින් යුත් වෛද්‍යවරුන් බිහිකිරීමේ වඩාත්ම යෝග්‍ය ක්‍රමවේද පිළිබඳ කරුණු එළිදක්වනු ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට ඉහතදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් දරණ ලද ස්ථාවරය අනුව එම වාර්තාවේ සඳහන් වනු ඇත්තේ කුමක්දැයි කල් තබාම සිතාගැනීම අපහසු නැත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ සංකල්පයට වෛද්‍ය සංගමය එතරම් සුබවාදී මතයක් නොදරන බව පෙනේ. කමිටු වාර්තා ලබාගෙන මේ සැරසෙන්නේ කුමකටද යන්න නොබෝදා වෛද්‍ය සංගමය විසින් කරන ලද ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි. එහි කියා තිබුණේ මෙරට වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා විසින් කොරෝනා අර්බුදය සාර්ථකව පාලනය කරගත් අවස්ථාවක පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා නව යෝජනා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තම සංගමය විමතියටත්, කනස්සල්ලටත් පත්වූ බවය. මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ගත් උත්සාහයන් පිළිබඳ තමන්ට ඇත්තේ ඉතා අමිහිරි අත්දැකීමක් බව එමඟින් පෙන්වා දී තිබුණේ උතුරු කොළඹ වෛද්‍ය පීඨය සහ සයිටම් ආයතනය උදාහරණ වශයෙන් පෙන්වා දෙමිනි. කෙසේ වුවද අද ලංකාවේ ඉහළ පෙළේ වෛද්‍යවරුන්ගේ දූ පුතුන් විශාල පිරිසක් පිටරටවල වෛද්‍ය විද්‍යාල අධ්‍යාපනය ලබන බව රහසක් නොවේ. අද සෞඛ්‍ය අංශයේ සිටින ඉහළ පෙළේ වෛද්‍යවරුන් බොහෝ පිරිසක්ද පිටරට වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපනය ලැබුවෝද සිටිති.

කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කර ගැනීමට මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවා බලධාරීන්ද කාර්ය මණ්ඩලද විසින් ඉටුකරන ලද සේවය ඉතා ඉහළ බවට කිසිදු සැකයක් නැත. ඒ පිළිබඳ නිසි ගෞරවය ඔවුන්ට ලබාදීමට අපි මොහොතකට හෝ නොපැකිලෙමු. එහෙත් එම කාර්යභාරය සහ මෙරට පෞද්ගලික වෛද්‍ය පීඨයක් ඇරඹීම අතර ඇති සම්බන්ධය කුමක්දැයි අපට පැහැදිලි නැත. මේ ආකාරයට එකිනෙකට වෙනස් කාරණා දෙකක් පටලවා ගැනීම පැහැදිලිවම “වයර් මාරුකර ගැනීම”කි. රටක අනාගත වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී එවැනි පටලවා ගැනීම් මගින් සිදුවන්නේ යහපතක් නොව නිවැරදි තීන්දු ගැනීමට බාධා පැමිණීම පමණි.

මේ රටට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අනවශ්‍ය බවත් ඒ පිළිබඳ භයානක බිල්ලකු මැවීමත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අතීත ආදර්ශයයි. වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ තීන්දු ගැනීමේදී වෛද්‍ය සංගමයේ අදහස් දැක්වීම් සැලකිල්ලට නොගත යුතු යැයි අපි නොකියමු. එහෙත් එම කරුණු දැක්වීම් පටු අරමුණක පිහිටා සිටිමින් පසුගාමී චින්තනයකට පාර පෙන්වීමක් නොවිය යුතුය. අද ලෝකයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධ සංකල්ප බොහෝ සෙයින් වෙනස්ව ගොස් තිබේ. බොහෝ දියුණු යැයි සම්මත සහ ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් පවා උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින තම ආකල්ප වෙනස් කර ගනිමින් සිටී. එම රටවල රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හා සමගාමීව පෞද්ගලික විශ්වවිද්‍යාල සමූහයක් ද ක්‍රියාත්මකය. ඒ ඇතැම් රටවල පෞද්ගලික විශ්වවිද්‍යාල ඒ ඒ රටවලට ධන උල්පතක් වී තිබේ. ඒ ගැන ගතහැකි ආසන්නම උදාහරණය ඕස්ට්‍රේලියාවයි.

ඕස්ට්‍රේලියාව වත්මන් ලෝකයේ ඒකපුද්ගල ආදායම අතින් 13 වැනි ස්ථානයේ සිටින රටයි. ඒ රටේ ආර්ථික ශක්තිය පිළිබඳ වෙනත් අටුවා ටීකා අවශ්‍ය නැත. එසේම ඒ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතිය හරහා උපයාගන්නා වාර්ෂික ආදායම ඩොලර් බිලියන 37.6 කි. ඒ රටේ ජාතික ආදායම ඩොලර් බිලියන 470.26 කි. උසස් අධ්‍යාපනය හදාරණ තම රටේ මෙන්ම එතෙර සිසුන්ට ද විශ්වවිද්‍යාල විවෘත කිරීම හරහා ඔවුන් උපයන මුදල ආසන්නව එරට ආදායමෙන් 11% කට ආසන්නය.

එරට විදෙස් සිසුන් අතරින් බහුතරය එන්නේ චීනයෙනි. කොරෝනා වසංගතය හේතුවෙන් දෙරට අතර ඇතිවූ අර්බුදයේදී චීනය තම රටින් උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට සිසුන් යැවීම නවතා දමන බවට තර්ජනයක්ද කළේය. එය ඕස්ට්‍රේලියාවට තදින් දැනුණු ආර්ථික ප්‍රහාරයක් විය. මෙය වත්මන් ලෝකයේ ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට තිබෙන ඉල්ලු‍ම සහ සැපයුම කොතරම් ප්‍රබලදැයි පෙන්වාදෙන එක් උදාහරණයක් පමණි.

පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා ගෝලීය වශයෙන් හොඳම පිහිටීමක් ඇති ශ්‍රී ලංකාවට පමණක් ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු විශ්වවිද්‍යාල නොගැලපෙන්නේ මන්දැයි තේරුම් ගැනීම ඉතාම අපහසුය. ඕස්ට්‍රේලියාවේ පමණක් නොව වෙනත් රටවල පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අපේ රටේ දරුවෝ ද වෙති. ඒ වෙනුවෙන් එතෙරට ඇදී යන්නේ අති විශාල ධනයකි. අපේ රටට ද පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිකිරීමට ඉදිරිපත් වන යෝජනාවලට පදනම් විරහිත ලෙස විරුද්ධ වෙනවාට වඩා එම විශ්වවිද්‍යාලවල තිබිය යුතු ප්‍රමිතිය සහ විශේෂයෙන් පෞද්ගලික වෛද්‍ය පීඨවලට ශ්‍රී ලාංකික සිසුන් බඳවා ගැනීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශිත ප්‍රමිතිය අනුගමනය කරවීම සඳහා බලපෑම් කිරීම වඩාත් සුදුසු යැයි අපි සිතමු. විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ උසස් හා නිශ්චිත ප්‍රමිතියකට අනුව වෛද්‍ය විද්‍යාල පිහිටුවනවාදැයි ඇස ගසාගෙන සිටීමය.