(*** නිමන්ති රණසිංහ)
රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා වශයෙන් තමා සහ්රාන් හෂීම් සම්බන්ධයෙන් 2015 සිට බුද්ධි වාර්තා 347ක් ඉහළ නිලධාරීන්ට යොමු කළත් ඊට අදාළව ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පෙරේදා (25) ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් තමන් යැවූ කිසිදු ලේඛනයකට කිසිම අයකු වැඩිදුර වාර්තා ඉල්ලා නොසිටි බවත්, එසේ වැඩිදුර වාර්තා ඉල්ලූ බවට ඔප්පු කළහොත් තමන් මේ දැන් සේවයෙන් ඉල්ලා අස්වන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
2015 වර්ෂයේ සිට යැවූ කිසිදු බුද්ධි වාර්තාවක් සම්බන්ධයෙන් කිසිදු ඉහළ නිලධාරියකු වැඩිදුර වාර්තා තමාගෙන් ඉල්ලා නැති බවත්, පොලිස්පතිවරයා පමණක් තුන්වරක් වැඩිදුර වාර්තා ඉල්ලා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී සඳහන් කළේය.
ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා සාක්ෂිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සාක්ෂියට අනුව ඇසූ හරස් ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපති නීතිඥවරයා: අප්‍රේල් 4 වැනිදා ඔබට ලැබුණු විදේශීය බුද්ධි තොරතුර ගැන අප්‍රේල් 9 වැනිදා පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් නොකළේ ඇයි?
සාක්ෂිකරු: මගේ උසස් නිලධාරියකුව සිටි ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට මම ඒ වනවිටත් අදාළ තොරතුර ගැන දැනුම් දීලා තිබුණා. ඒ නිසා මම බුද්ධි සමාලෝචන රැස්වීමේදී විශේෂයෙන් ඒ ගැන සාකච්ඡාවට බඳුන් කිරීමට උත්සාහ ගත්තේ නැහැ.
ජනාධිපති නීතිඥවරයා: “නිලන්ත ඇයි අර කොළේ දාන්නේ නැත්තේ?” අදාළ රැස්වීම අවසානයේ ජාතික බුද්ධි ප්‍රධානියා ඔබෙන් විමසූ බව ඔබ පිළිගන්නේ නැද්ද?
සාක්ෂිකරු: එම රැස්වීමේදී සිසිර මෙන්ඩිස් මහතා මගෙන් එවැනි විමසීමක් කළේ නැහැ. ඒ වුණාට රැස්වීම පටන් ගන්න ඉස්සර වෙලා මම ඇහුවා “සර් ඕක තාම අතේනේ. ඇයි දැම්මේ නැත්තේ?” කියලා.
ජනාධිපති නීතිඥවරයා: අප්‍රේල් 20 වන දින එනම් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දින පස්වරුවේ ඔබ, සිසිර මෙන්ඩිස් මහතා අමතා “සර් මේක ලෙඩක්. මම අයි.ජී.පී.ට කිව්වා” කියලා සිසිර මෙන්ඩිස් මහතා කියනවා. ඔබ මෙය පිළිගන්නවා ද?
සාක්ෂිකරු: නැහැ. මම කිව්වා පල්ලියකටයි හෝටලයකටයි ඇතුළු ස්ථාන අටකට ගහනවා කියලා. ඒ දුරකතන ඇමතුම තත්ත්පර 5ක්. එතකොට ඒ ටික විතරක් කිව්වා වෙන්න පුළුවන්. මා පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවට පෙර දින ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අමතන අවස්ථාවේදී ඒ මහතා ද පල්ලි යන්න සූදානම් වෙලා හිටියේ. මා කිව්වා “බෝම්බ ගහනවා” කියලා. ඔහු පල්ලි ගියා ද නැද්ද කියලා මම දන්නේ නැහැ.
ජනාධිපති නීතිඥවරයා: “21 වැනිදා හෝ ඊට පෙර ගහනවා” කියලා 20 වැනිදා රාත්‍රිය වෙද්දිත් පැහැදිලි තොරතුරක් ලැබිලා තියෙද්දීත් ඔබ ජනාධිපති ලේකම්වරයා අමතා හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කර මහජන සාමය ආරක්ෂා කිරීමට යුද හමුදා සහාය ලබාගැනීමට ක්‍රියා කළා ද?
සාක්ෂිකරු: ජනාධිපතිට කිව්වා ද ඇහුවා, අගමැතිට කිව්වා ද ඇහුවා, ආරක්ෂක ලේකම්ට, පොලිස්පතිට, ජාතික බුද්ධි ප්‍රධානියාට කිව්වා ද ඇහුවා. දැන් ඒ පාර ජනාධිපති ලේකම්ට කිව්වා ද කියලත් අහනවා. මේ ඔක්කෝටම කියන්න ඕනේ මම ද? ඊළඟට අහයි නිලන්ත ඇයි ඔයා රටටම කිව්වේ නැත්තේ කියලා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තොරතුරු රැස් කරන්න ඕනේ. පණිවිඩ තියන්න ඕනේ. ලියුම් ගහන්නත් ඕනේ නිලන්ත ද? එතකොට අනිත් අයට පඩි ගෙවන්නේ නිකන් ද? රට තුළ ක්‍රමානුකූලව සැකැසුණු ධූරාවලියක් තිබෙනවා. එහි එක් එක් නිලධාරීන්ට පැවැරුණු වගකීම් තිබෙනවා. හැමදේටම හරි හරි කියන්න නිලධාරීන් ඕනේ නැහැ. ජනාධිපතිගේ වැඩෙයි, ආරක්ෂක ලේකම්ගේ වැඩෙයි, පොලිස්පතිගේ වැඩෙයි ඔය හැම වැඩේම මම කරන්න ඕනේ නම් ඒ අය ඕනේ නැහැනේ. මට ජනාධිපතිකම දුන්නා නම් ඉවරයි. මට කනගාටුයි මේ වගේ ටීම් එකක් එක්ක වැඩ කරන්න සිදුවීම ගැන. 21 දායින් පස්සේ තමයි ඇත්ත පුද්ගලයෝ කවුද කියලා මම දැනගත්තේ. ගත්තු දුරකතන ඇමතුම්වල ස්ක්‍රීන් ෂොට් නැත්නම් අද වෙද්දි රාජ්‍ය බුද්ධි සේවය මුකුත් කරලා නැහැ. එහෙම නොවුණා නම් මම අද හිරේ. ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් කිරීමක් කරලා තියෙද්දී සමහරු අවුරුද්දට ආයතන වැහුවා. ඒවා නැවත විවෘත කළේ ප්‍රහාරයෙන් පස්සේ. තවත් අය පූර්ව දැනුවත් කිරීම් කර තිබියදී රට ගියා. තවත් මිනිස්සු ගෙදරට වෙලා බුදියගත්තා. තවත් අය පල්ලිවලට ගහනවා කියද්දි පල්ලි ගියේ නැහැ. අන්තිමට ඇයි කිව්වේ නැත්තේ කියලා අහන්නේ මගෙන්. මම මට කරන්න පුළුවන් හැමදේම කළා.
ආරක්ෂක ලේකම්ට කිව්වා. ජාතික බුද්ධි ප්‍රධානියාට කිව්වා. පොලිස්පතිට කිව්වා. ඒ හැමෝටම කියලා ජනාධිපතිට කියන්න උත්සාහ කළා. එතුමා ආන්සර් නොකළ එක මගේ වරදක් නොවේ. මම මට පුළුවන් හැමදේම කළා” යැයි ද ඔහු කීවේය.