(මනෝප්රිය ගුණසේකර)
පාරේ යන විට බිරුවාට උරණ වී අසල්වැසි නිවසේ සුරතලයට ඇතිකරන ‘සිඩ්නි පුතා’ නමැති බල්ලාට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු ලබන මස 04 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා නියම කළේය.
සැකකරුට ඇප නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මොහොමඩ් නසාර් මහතා කළ ඉල්ලීම ප්රතික්ෂෙප කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළේය. නිවසක සුරතලයට ඇතිකරන බල්ලකුට වායු රයිපලයකින් වෙඩි තබා මරා දමන ලදැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විශ්‍රාමික යුද හමුදා කපිතාන්වරයකු වන කඳාන පොල්පිතිමුකලානේ චමිපික ගයාන් පෙරේරා (55) නමැත්තා මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කෙරිණී.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කඳාන පොලිසියේ කොස්තාපල් (96866) විජේකොන් මහතා සැකකරුගේ අසල්වැසියකු වන ප්‍රසාදි පෙරේරා මහත්මිය ‘සිඩ්නි පුතා’ නමින් හඳුන්වන අවුරුදු 03ක් පමණ වයසැති කලු සුදු බල්ලකු ඇති කර ඇතැයි දැනුම් දුන්නේය.
නිවස තුළම ඇතිකරන ‘සිඩ්නි පුතා’ සාමාන්‍යයෙන් දිනකට දෙවරක් නිවසින් එළියට යන බවත් එසේ ගිය පසුගිය 28 වැනිදා පාර් ගමන් ගත් සැකකරුට බුරා ඇති බවත් සැකකරු වහාම ඔහුගේ නිවසට ගොස් වායු රයිපලයක් ගෙනැවිත් ‘සිඩ්නි පුතා’ගේ බඩට වෙඩි තබා ඇති බවත් කී කොස්තාපල් විජේකොන් මහතා පසුව ‘සිඩ්නි පුතා’ පශූ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර කළත් මියගොස් ඇතැයිද කීය.