බස් - ටිපර් අනතුරින් 51කට තුවාල


(සිතුම් චතුරංග සහ රෝමේෂ් මධුෂංක)

යාපනය, නුවර ඒ නවය මාර්ගයේ පලෙයි මුහමාලෙයි හි බස්රථයක් හා ටිපර් රථයක් අද(15) දහවල් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 51 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇතැයි පලෙයි පොලිසිය කියයි.

බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක් වන හෙලෝ ට්‍රස්ට් ආයතනයේ සේවකයන් පිරිසක් රැගෙන ආ බස්රථයක පලෙයි ප්‍රදේශයේ සිට යාපනය දක්වා ගමන්ගත් ටිපර් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

බස් රථය සේවකයන් සමඟ බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනය වෙත බස්රථය ඇතුල් කිරීමට උත්සහ කිරීමේදී අධික වේගයෙන් පැමිණ ඇති ටිපර් රථය ගැටී බස්රථය පෙරළී ගොස් අනතුරටලක්ව ඇති බවත් පැවසීය.

අනතුරින් තුවාල ලැබූවන්ගෙන් ප්‍රදේශවාසීන් හා හෙලෝ ට්‍රස්ට් ආයතනයේ සෙසු සේවකයන් සමඟ රෝහල් ගතකරනු ලැබීය.

තුවාල ලැබූ පිරිසගේ තත්වය බරපතල නොවන බවත් බහුතරයක් සුළුතුවාල පමණක් ලබා ඇති බවට රෝහල් ආරංචිමාර්ග සඳහන් කරති.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන ඇති අතර ඔහු හෙට කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.