(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
"යුනිෆෝම් එකට ගරු කරලා සලකලා යවනවා. නැත්තම් මම උඹව උස්සලා පොළොවෙ ගහනවා" යයි පොලිස් කොස්තාපල්වරයකුට තර්ජනය කළ බව පෞද්ගලික බස් රථ රියදුරුකු මහරගම නිලම්මහර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය කියයි.
වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු රාජගිරිය දේවස්ථානයක් අසල රථවාහන රාජකාරියේ යෙදී සිටියදී හෙට්ටියාවත්ත සිට නුගේගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය බස් නැවතුමෙන් පිටත් නතර කර තිබූ බව පොලීසිය කියයි.
එම අවස්ථාවේදී බස් නැවතුමෙන් පිට නතර කිරීම සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරාට එම වැරැද්ද පෙන්වා දී දඩකොලයක් ලබාදීමට කටයුතු කිරීමේදී සැකකාර රියදුරු කොස්තාපල්වරයාට අත දිගු කර තර්ජනය කරමින "උසාවියට බැරිනම් ඕන තැනකට දාන්න , දඩ ගහන එක එච්චර ලොකු දෙයක් නෙමේ පාරේ ඉන්න එපා, මතක තියා ගනින් උඹව යට කරල මරනවා, මට කවුරු වුණත් කමක් නෑ , මගේ නම ඩිල්ශාන් හොඳට අහලා බලහන් යනුවෙන් තර්ජනය කර එම ස්ථානයෙන් පිට වී යන අයුරු දක්නට ලැබිණි.
එම අවස්ථාවේදී කොස්තාපල්වරයා කිසිම අවුලක් නැහැ තැන්කියු යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබිණි.
සැකකාර රියදුරු කොස්තාපල් වරයාට එලෙස තර්ජනය කරන අයුරු කොස්තාපල්වරයා සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබිණි.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.