බ්‍රිතාන්‍ය අගමැති බල්ලා නිසා අමාරුවේ


යළිත් වරක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට දඩ ගැසීමට ලන්ඩන් පොලිසිය සූදානම් වෙයි. ඒ, අග්‍රාමාත්‍යවරයාගේ බලු සුරතලා මුල්කොට ගනිමිනි.

පසුගිය දා අග්‍රාමාත්‍ය සුනාක් සිය ආරක්ෂක නිලධාරීන් ද පිරිවරාගෙන, බිරිඳ අක්ෂාතා මූර්ති, දියණියන් සහ ලැබ්‍රඩෝර් වර්ගයේ බලු සුරතලා නෝවා ද සමඟ ලන්ඩන් නුවර හයිඩ් පාර්ක් උද්‍යානයේ ඇවිදීමට ගියේය.

හයිඩ් පාර්ක් උද්‍යානයේ නීතිය, බලු සුරතලුන් උද්‍යානයට රැගෙන එන්නේ නම්, හිමිකරු එම සතා දම්වැලකින් හෝ පටියකින් හෝ බැදගෙන සිටිය යුතු වෙයි. එසේ කළ යුතු වන්නේ උද්‍යානයේ වනජීවින්ට බලු සුරතලුන්ගෙන් හිංසාවක් පීඩාවක් සිදුවිය හැකි බැවිනි.

කෙසේ නමුත් සුනාක් පවුල ඔවුන්ගේ බලු සුරතලා උද්‍යානයට රැගෙනවිත් සිටියේ දම්වැලකින් ඌ ගැට ගසාගෙන නොවෙයි.

උද්‍යානයේ සිටි පොලිස් නිලධාරිනියක, අග්‍රාමාත්‍යවරයා අසලට ගොස් ඒ සම්බන්ධයෙන් ඔහු දැනුවත් කළ අතර, සිදු කර වරදට අග්‍රාමාත්‍යවරයාට අදාල දඩ මුදල ගෙවීමට සිදුවනු ඇතැයි පැවැසෙයි.

මීට මාස කීපයකට පෙර ද අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ලන්ඩන් පොලිසියෙන් දඩ කෑවේය. ඒ, ඔහු තත්ත්පර කීපයකට, ආසන පටි නොපැලඳ මෝටර් රථයේ පසුපස අසුනේ අසුන් ගෙන, ජංගම දුරකතනයෙන් වීඩියෝවකට පෙනී සිටි බැවිනි.

(එන්.ඩී.ටීවී.)