බිසෝඇල්ල සක්‍රීය වෙයි


(මහේෂ් කීර්තිරත්න)

මේ දිනවල පවතින  අධික වැසි සමඟ  මාතලේ යටවත්ත සැලගම  පිහිටි ‘බිසෝ ඇල්ල ‘ වසර කිහිපයකට පසු සක්‍රීය වී තිබේ.

 මාතලේ  යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම දිය ඇල්ල යටවත්ත සීමාවේ නැව්ගල කන්දටත් හුලංගල පර්වතයටත්  පිහිටා ඇත.
මාතලේ කුරුණෑගල පාරේ යටවත්ත පසු කර සැලගම මාර්ගයට පැමිණ එතැනින් නිකගොල්ල මාර්ගයේ පැමිණ දිය ඇල්ල නැරඹිය හැකිය.

සැලගම කඳු මුදුනේ ඇති දිය උල්පත්වල ජලය එක්වී අඩි දහසක් පමණ උසැති ගල් පර්වතය මතින්  ඇද හැලෙමින් බිසෝ ඇල්ල නිර්මාණය වේ.

වළගම්බා රජ සමයේ  සේනාව යුද්ධයට යාමට පිටත්වෙද්දී  වළගම්බා රජු  සිය  බිසෝවරුන් හත්දෙනෙකු  ආරක්‍ෂාව වෙනුවෙන් මෙම පර්වත මුදුනේ සඟවා  සිටි බවත් , තමන් යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් සුදු කොඩියක්ද, පැරදුණහොත් රතු කොඩියක්ද ලෙළ දෙනු ඇති බවත්, පවසා යුද පිණිස පිටව ගිය බවත් ජනප්‍රවාදයේ  සඳහන්ය.
 
අනතුරුව රජු  යුද්ධය දිනා පැමිණෙද්දී කුමන්ත්‍රණකරුවන් පිරිසක් සුදු වෙනුවට රතු කොඩියක් දමා ඇති බවත් එය දුටු  සොවින් බිසෝවරුන් මෙම ඇල්ලෙන් පැන දිවි නසාගත්  ජනප්‍රවාදයේ සඳහන්  බවඓතිහාසික මාතලේ ග්‍රන්ථයේද සඳහන්ව තිබේ.
 
ඒ අනුව මෙයට බිසෝවරුන් පැන්න ඇල්ල, බිසෝ ඇල්ල යනුවෙන් නම ලැබී ඇතැයි ද කියැවේ.

බිසෝවරුන්ගෙන් ගලා ගිය රුධිරය කිලෝමීටර කීපයක් ඈතින් එකතු වූ බවත් එතැන ‘රතලේ වැව‘ ලෙස නම් ලැබූ බවත් ජනප්‍රවාදයේ සඳහන්ය.