බුත්තල-සෙල්ලකතරගම මඟේ වන අලින්ට කෑම දුන්නොත් නීතිමඟට


(කේෂර ගුණතිලක)  

බුත්තල-සෙල්ලකතරගම මාර්ගයේ යාල ජාතික වනෝද්‍යානය හරහා ඇති කොටසේ දී වන අලින්ට ආහාර ලබාදීමෙන් වළකින ලෙස වනජීවී දෙපාර්තමේන්තුව එම මාර්ගයේ ගමන් කරන වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටිති.

එසේම එම මාර්ගයට කැළි කසළ නොදමන ලෙස ඉල්ලා සිටින වනජීවී නිලධාරීන් එම උපදෙස් නොපිළිපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව වනජීවී දෙපාර්තමේන්තුවේ ගල්ගේ කලාපයේ වනජීවී අඩවි ආරක්ෂක කේ ජානක ශාන්ත කුමාර මහතා පැවසීය.

යාල වනෝද්‍යානයේ කලාප අංක 3,4 සහ 5 යන කොටස් මැදින් බුත්තල සෙල්ලකතරගම මාර්ගය වැටී තිබෙන අතර එම ප්‍රදේශය තහනම් ප්‍රදේශයකි.

නමුත් වාහනවලට ගමන් කිරීමට අවස්ථාව ලබාදී ඇත. එසේ යන වාහන වලින් වන අලීන්ට කෑම වර්ග ලබාදීමෙන් අලින් මාර්ගයට පැමිණීමට පුරුදු වී සිටින අතර අවස්ථා කිහිපයකදී වාහන වලට සහ පුද්ගලයින්ට බාධා සිදුවී ඇති බව වාර්තා වේ.

තවද කුණු කසළ සහ ෂොපින් බෑග්වල දමා දෙන ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වන අලින්ගේ සෞඛ්‍යයට ද තර්ජනයක් වෙමින් පවතී.

මෙම තත්වය මත වන අලීන්ට කෑම දීම සහ මාර්ගය දෙපස කුණු කසළ දැමීම සපුරා තහනම් වන අතර නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට  මෙලෙස පියවර ගෙන තිබේ.

කතරගම ප්‍රදේශය භාර සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.ඒ.පී.යූ ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පරිදි රථ වාහන හිමියන් ඇතුළු ජනතාව දැනුවත් කිරීම සඳහා මාර්ගය දෙපස දැන්වීම් පුවරු සවිකිරීමට පියවරගෙන  ඇත.