බොරැල්ල ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයට ඩේවිඩ් පීරිස් මෝටර් අත හිත


ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් අනුග්‍රහයෙන්, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයේ පුහුණුව ලත් පළමු කණ්ඩායම පසුගියදා විසිර ගිය අතර දෙවැනි කණ්ඩායම බඳවා ගැනීම ද ඒ සමගම සිදු විය.

කලක් අක්‍රීයව පැවැති මෙම මධ්‍යස්ථානය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිඩට් විසින් පිළිසකර කරනු ලැබ 2019 වසරේ දී යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. පුහුණු කටයුතු සඳහා බජාජ් ත්‍රිරෝද රථයක්, මෝටර් සයිකල් 02ක්, බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස්, විශේෂිත උපකරණ කට්ටල සහ ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් එන්ජින් කොටස්වල රූප සහ අමතර කොටස් සහිතව පැහැදිලි කිරීම් ඇතුළත් පුවරු ද ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙතින් පරිත්‍යාග කෙරුණි.

මෙහි තවත් සුවිශේෂී කරුණක් වූයේ වසරක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාවේ මාස 06ක කාලයක් න්‍යායාත්මක පුහුණුව ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයේ ද තවත් මාස 06ක කාලයක් DPMC Workshop සමග වැටුප් සහිත පුහුණුවක් ලබා දීමයි. මෙය ජාතික වෘත්තීය සුදුසුකම 04 (NVQ 04) මට්ටමේ පාඨමාලාවක් වේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සේවා) චන්න රණවක මහතා පැවසුවේ පළමු කණ්ඩායමේ සිසුන් 22ක් අතුරින් 07 දෙනකු ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්හි වර්ක්ෂොප් අංශයේ වැටුප් සහිත පුහුණුව ලැබීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර තවත් 15 දෙනකු තමාගේ ගම් ප්‍රදේශවලම සිට ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි සර්විස් ඩීලර්වරුන්ගේ ආයතනවල පුහුණුව ලබන බවයි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් මෙම වැඩසටහන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හා එක්ව තවදුරටත් සිදුකරගෙන යාමට බලාපොරොත්තු වන බවත් රණවක මහතා පැවසුවේය.