බෝවතැන්න ජලාශයේ වාන් 6 ම විවෘත කරයි


(ඉන්දික අරුණ කුමාර)

පවත්නා අධික වැසි තත්ත්වය හමුවේ බෝවතැන්න ජලාශයේ වාන් දොරටු හයම විවෘත කළ බව ජලාශ බාර වාරි ඉංජිනේරු එච්.එම්.එල්.ආර්.හේරත් මහතා කියයි.

තත්ත්පරයට ඝන අඩි 17000 බැගින් බෝවතැන්න ජලාශයට ඉහළ ජලාධාර ප්‍රදේශ වලින් ජලය ලැබෙමින් පවතී.

අද (20) අලුයම් කාලයේ සිට බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 6 ම විවෘත කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් හා සෙසු දොරටු හතර අඩිය බැගීන් විවෘත කර ඇති බව ඉංජිනේරු හේරත් මහතා කියා සිටියේය.

බෝවතැන්න ජලාශයෙන් පිටවන වාන් ජලය අඹන් ගඟ ඔස්සේ මොරගහකන්ද ජලාශයට ගලා බසී.

මේ හේතුවෙන් ඇලහැර මාර්ගයයෙන් අඹන් ගඟ හරහා ඉදිකර ඇති අඹන පාලම සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඹන, සේනාගම, ඕපල්ගල, නාලියකනත්ත සහ මොරගොල්ල ගම්මානවල පවුල් 2000 ආසන්න පිරිසකට නාඋල නගරයට පිවිසීමේ කෙටි මාර්ගය අවහිර වී ඇත.